පුටින් ඉන්දියාවේ



රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණ සිටින අතර අද (5) පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර නව වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් තැබුණි.

එයින් එකක් වන්නේ එස් 400 වර්ගයේ මිසයිල පද්ධතියක් මිලදී ගැනීමය. ඊට අමතරව ආරක්ෂක, න්‍යෂ්ටික බලශක්ති, අභ්‍යවකාශ ගවේෂණ ආදිය සම්බන්ධයෙන් ද සහයෝගීතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණු බව ද වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නව ගිවිසුම් 20 කට ඉන්දීය අගමැතිවරයා සහ රුසියා ජනාධිපතිවරයා අතරේ අත්සන් තැබුණු බවය. රුසියාවෙන් මිලදී ගන්නා එම එස් 400 මිසයිල ආරක්ෂක පද්ධතියේ වටිනාකම ඇමෙරිකන් බිලියන පහකි.

රුසියාව මේ වනවිට ඇමෙරිකාවේ උදහසට ලක් වී ඇති අතර, ඇමෙරිකාව රුසියාවට නව සම්බාධක පැනැවීම් ද සිදු කර ඇත. ඉන්දියාව යනු ආසියානු කලාපයේ ඇමෙරිකාවේ සමීපතම මිතුරෙකි.

එහෙයින්, ඉන්දීය රජය රුසියානු ජනාධිපති පුටින් සමඟ මෙලෙස ගිවිසුම් රැසක් ඇතිකර ගැනීම ඇමෙරිකාවේ නොසතුටට හේතුවක් වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS