පුටින්ට ට්‍රම්ප්ගෙන් තර්ජන



දින 50 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය නවත්වා, සාම වැඩපිළිවෙළකට යා යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු ඇගවීමක් කළේය.

එම දින 50 ක කාලය ඇතුළත සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් ඇති කර නොගතහොත්, රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමක් කරන බවට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පුටින්ට අවධාරණය කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙසේ තර්ජනය කළේ ධවල මන්දිරයේ, ඕවල් කාර්යාලයේ දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. එම අවස්ථාවට, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද එක් වී සිටියහ.

ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වූ දා සිට උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමටය. ඔහු යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී ඇති අතර, රුසියන් ජනාධිපති පුටින් සමඟ අවස්ථා කීපයකදී දුරකතනයෙන් කතා කර යුද්ධය නවත්වන්නැයි ඉල්ලා ඇත.

සාම වැඩපිළිවෙළකට යෑමට කැමැති බව පැවැසුවත්, පුටින් එසේ නොකරන බවත් ඔහු මුරණ්ඩු තැනැත්තකු බවත් ට්‍රම්ප් චෝදනා නගා ඇත. මෙය තමන්ගේ කලකිරීමට හේතුවක් වී ඇතැයි ද ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත. රුසියන් ජනාධිපතිවරයා සාමයට අකමැති වන්නේ නම්, රුසියාවට ද තීරු බදු පැනීමට සිදුවන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත.

ජනපති ට්‍රම්ප් මේ වනවිට ලෝකයේ රටවල් රැසකට තීරු බදු පැනවීම් සිදු කර තිබේ. රුසියාවට මෙතෙක් තීරු බදු පැනවීමක් සිදු කරනැත්තේ ඇමෙරිකාව, යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් රුසියාවට සම්බාධක පැනැවීම් සිදු කර ඇති බැවිනි. 

මේ අතර, රුසියන් ආක්‍රමණයට මුහුණ දීම සඳහා යුක්රේනයට ඇමෙරිකන් පේට්‍රියට් දිගු දුර මිසයිල, ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු බිලියන ගණනක් වටිනා අවි ආයුධ නේටෝ සංවිධානය හරහා යුක්රේනයට ලබා දීමට තමනක් පියවර ගන්නා බව ට්‍රම්ප්, නේටෝ ප්‍රධානී මාක් රූට් ඉදිරියේ දී පැවැසුවේය.


RECOMMEND POSTS