පුටින්ට එරෙහිව විපක්ෂය වීදි බසී



මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත රුසියානු ජනාධිපතිවරණය වර්ජනය කරන්නැයි රුසියානුවන්ට බල කරමින් එරට විපක්ෂ දේශපාලන කන්ඩායම් එක් වී, රුසියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා සංවිධානය කර තිබුණි.

රුසියානු මාධ්‍ය වාර්තා කළේ මොස්කව් අගනුවර සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති විරෝධතා සඳහා සහභාගී වුණු පිරිස දස දහසක් බවය.
රුසියානු බලධාරීන් චෝදනා නගන්න වූයේ විරෝධතා රැලි සඳහා විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිසි ලෙස අවසර ලබා ගෙන නොතිබුණු බවය. ඒ අනුව, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවිණි. එම අවස්ථාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතරේ දරුණු ගැටුම් හටගත්තේය. විරෝධතාකරුවෝ 180 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

රුසියානු රජයේ නිරන්තරයෙන් මර්දනයට ලක් වන රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නැවෙල්නි ද විරෝධතා රැලියකට එක් වුණු අතර පොලිසිය වහා ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

කෙසේ නමුත් පැය කිහිපයකට පසු නැවෙල්නි නිදහස් කෙරුණි. ඔහුගේ නීතීඥවරයා කියා සිටියේ පොලිසිය කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකළ බවය.  කෙසේ නමුත් ඉදිරි දිනෙක ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති බවත්, එම අවස්ථාවේදී චෝදනා එල්ල කරනු ඇති බවත් නීතීඥවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඇලෙක්සි නැවෙල්නිගෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලොකු අභියෝගයක් එල්ල වෙයි. රුසියානු රජය පෙරැළීමට කුමන්ත්‍රණය කරනවා යැයි නැවෙල්නිට චෝදනා එල්ල වී ඇත. ඇලෙක්සි නැවෙල්නිට එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවා හැකියාවක් නැත.

(රොයිටර්)


RECOMMEND POSTS