පිලිපීන ජනපතිගෙන් චීනයට අනතුරු



පිලිපීනයට ඔබ්බෙන් දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සම්බන්ධයෙන් හටගත් අර්බුදය මුල්කොට ගනිමින් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් යළිත් වරක් චීනයට අනතුරු අඟවා ඇත්තේ චීන දීවර යාත්‍රා සහ වෙරළාරක්ෂක යාත්‍රා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් තම හමුදාවට දන්වා ඇති බව පවසමිනි.

චීනය සහ පිලිපීනය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ පිලිපීනයට අයිත් යැයි කියන පග් ආසා නමැති කුඩා දූපත් සමූහය මුල්කොට ගනිමිනි. පසුගිය දා චීන වෙරළාරක්ෂක යාත්‍රා සහ ධීවර බෝට්ටු රැසක් මෙම දූපතට පැමිණි බව වාර්තා විය.

පග් ආසා දූපත තීටූ යනුවෙන් ද හැඳින්වෙන අතර, පිලිපීන රජය ඔවුන්ගේ හමුදා සොල්දාදුවන් මෙම දූපතේ රඳවා සිටී. ‘මම බොහොම හොඳින් බොහොම කරුණාවෙන් චීනයට කියනවා, පග් ආසා දූපතට අත තියන්න එපා. දූපතට අත තිබ්බොත් තත්ත්වය දරුණු වේවි. මම මගේ සොල්දාදුන්ට උපදෙස් දෙනවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න. දන්නවා චීනය සමඟ හැප්පෙන්න අපට බැහැ. ඒත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්.’ යැයි ඩුටරේට්ස් කළ අනතුරු ඇඟවීමෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මැනිලා නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS