පිටවෙන්න කලින් චරිතාපදානය එළියට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් රචිත, ‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ චරිතාපදාන අද (23) එළිදැක්වීමට නියමිත නමුත්, එම චරිතාපදානයේ පිටපත් රහසේ අන්තර් ජාලයට මුදා හැර ඇත.

‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ කෘතිය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනකුට මෙය අන්තර් ජාලයෙන් ‘පීඩීඑෆ්’ පිටපතක් ලෙස ලබා ගැනීම කළ හැක. කෘතියේ ‘පී.ඩි.එෆ්’ පිටපත් අන්තර් ජාලය හරහා නොමිලේ ප්‍රසිද්ධියට පත් වුණේ ඒ අතරතුරේය. කෘතියේ ප්‍රකාශක හෝ ජෝන් බෝල්ටන් හෝ කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.

‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ කෘතියට පාදක වන්නේ මාස 18 ක් ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ලෙස ජෝන් බෝල්ටන් කටයුතු කරද්දී ලැබූ අත්දැකීම්ය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දේශපාලනික රහස් ඊට ඇතුළත් වන අතර මේ වනවිට ඒ සියල්ල ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ චරිතාපදානය ඇමෙරිකන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ධවල මන්දිරය පෙන්වා දුන්න ද අධිකරණය පසුගිය දා පොත එළි දැක්වීමට අවසර දුන්නේය.
ආරක්ෂක උපදේශකවරයා ලෙස ජෝන් බෝල්ටන් එම ධුරයට පත් කළේත් පසුව පැවැති මතගැටුම් හේතුවෙන් බෝල්ටන් ධුරයෙන් නෙරපා දැම්මේත් ට්‍රම්ප්ය. බෝල්ටන් සිය චරිතාපදානය රචනා කර ඇත්තේ ට්‍රම්ප් සමඟ උරණ වීමෙන් පසුවය. දෙදෙනා අතර මත ගැටුම් ඇරැඹුණේ ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර මුහුණට මුහුණ හමුව සැලැසුම් වෙද්දීය.

ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුව ඓතිහාසික එකක් විය. බෝල්ටන්, ‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’  කෘතියේ සඳහන් කර ඇති අන්දමට ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා හමුවී ඇත්තේ හුදෙක් ජනප්‍රියවීමේ අරමුණින් පමණි. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට ලක් කිරීමේ අදහසක් ට්‍රම්ප්ට නොතිබුණු බව බෝල්ටන් පෙන්වා දී ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා මේ වනවිට සූදානම් වෙයි. ඇමෙරිකා ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ය. බෝල්ටන් තරයේ පවසා ඇත්තේ ට්‍රම්ප්ට දෙවැනි ධුර කාලයක් හිමි නොවනු ඇති බවය. ට්‍රම්ප් දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව බෝල්ටන් පැහැදිලි කර තිබේ.

පසුගිය කාලයේ චීන ජනපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවෙද්දී, ට්‍රම්ප් චීන ජනාධිපතිගෙන් සහාය ඉල්ලා සිටියේය. ඒ, දෙවැනි ධුර කාලය සඳහා බලයට පත් වීම වෙනුවෙනි. චීනය එරට මුස්ලිම් උයිගුර් වැසියන්ට කෙණෙහිලිකම් කරද්දී ට්‍රම්ප් ඉවත බලා ඇත්තේ චීන ජනපති සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව යැයි පැවැසෙයි.

ජනපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ ද මේ අයුරින්ම එකඟතාවක් ඇති කර ගෙන තිබෙන බව බෝල්ටන්ගේ චරිතාපදානයේ සඳහන් වෙයි.

ග්‍රීන්ලන්තය රුසියාවේ කොටසක් යැයි ට්‍රම්ප් විශ්වාස කළ බවත්, වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ට්‍රම්ප් සැරැසුණු බවත්, නේටෝවට තර්ජනය කරමින්, ඇමෙරිකාව නේටෝවෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් තර්ජනය කළ බවත්, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනී තෙරේසා මේ පමණක් නොව, වත්මන් අගමැති බොරිස් ජොන්සන් ද ට්‍රම්ප්ගේ විවේචනයට ලක් වුණු බවත් ‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ කෘතියේ දැක්වෙයි.

ඇමෙරිකා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නිතරම කෝපයෙන් සිටින ජනපති ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ, පුවත් ලබා දෙන පුද්ගලයන් හෙළි නොකරන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බවත්, ඔවුන්ට වෙඩි තබා මරා දැමිය යුතු බවත්ය.
සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී, සෞදි ඒජන්තවරුන් අතින්, තුර්කියේ දී ඝාතනය වූ අවස්ථාවේදී, ට්‍රම්ප් සෞදියේ පැත්ත ගත් ආකාරය සම්බන්ධයෙන් ද සවිස්තර විස්තර ‘ද රූම් වෙයාර් ඉට් ඕල් හැපන්ඞ්’ කෘතියේ සඳහන් වෙයි.

හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ චරිතාපදානය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සිය විරෝධය දැක්වා ඇත. ඒ, ට්විටර් පණිවුඩයක් හරහාය. ‘මේ සියල්ල බොරු. මගේ චරිතය ඝාතනය කිරීමට ගත් උත්සාහයක්. මට මඩ ගැනීමට ගත් උත්සාහයක්. මේ සියල්ල ගෙතූ කතාන්දර. මා ඔහු තනතුරින් නෙරපා දැම්මා. ඒ කේන්තියට ඔහු මගෙන් පිළිගන්න හදනවා’ යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS