පැරිස් ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්



සිය යුරෝපා සංචාරයේ අවසන් අදියරට පැමිණෙමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණියේය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

පසුගිය දා ප්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එහිදී යළිත් වරක් ජනවරමක් හිමි කර ගැනීමට මැක්රොන් සමත් විය. දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වුණු මැක්රොන් හමුවීමට ආ පළමු රාජ්‍ය නායකයා වන්නේ අග්‍රාමාත්‍ය මෝදිය.

ජනාධිපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගයට ආ අග්‍රාමාත්‍ය මෝදි හමුදා ගෞරව මැද පිළිගැනීමට ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බි්‍රජෙත් ත්‍රොග්නෝව් කටයුතු කළහ. මැක්රොන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පිළිගත්තේ ඔහු වැළඳ ගනිමිනි.

මැක්රොන් සහ මෝදි අතරේ ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ඉන්පසු සාකච්ඡා පැවැත්විණි. එහිදී නව ආයෝජන ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානයක් යොමු විය.

රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේත් අවධානය යොමු වූයේ ඉන්පසුවය.

ඉන්දියාව යුක්රේනයේ පමණක් නොව රුසියාවේ ද මිතුරකු වන අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ සමීප සබඳතා පවතී. ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පනවා තිබියදී පවා ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගනී.

එය සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ඇමෙරිකාව පවසා ඇත. දෙපාශ්වයටම හිතවත් බැවින්, ඉන්දියාව රුසියන් යුක්රේන අර්බුදයේ දී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
රුසියන් යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට මැදහත් වී කටයුතු කරන යුරෝපා නායකයකු වන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය.

රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීම කළ යුතු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවුණු අවස්ථාවේදී පැවැසුවේය.

(රොයිටර්)


RECOMMEND POSTS