පැන්තරයයි ජගුවරයයි සමඟ කොටුවෙලා



පැන්තරයකු (කළු දිවියෙකු) සහ ජගුවාරයකු සමඟ යුක්රේනයේ සිය නිවසේ බිම් මහලේ තනිවුණු ඉන්දියානු වෛද්‍යවරයකු ගැන වාර්තා කළේ බීබීසී පුවත් සේවයයි.

40 හැවිරිදි ගිරි කුමාර් පාටිල් නමැති මෙම ඉන්දියානුවා තනිකඩයෙකි. ඔහුගේ ආදරය මෙම පැන්තරයා සහ ජගුවරයාය. ගිරි කුමාර් පැන්තරයා සහ ජගුවරයා මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 35,000 (පවුම් 26,460) ක මුදලකටය.

සතුන් මිලදී ගැනීමට ඉදිරිපත් වන අයකුට, එම සතුන් හදා වඩා ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තිබේ නම් යුක්රේන සත්වෝද්‍යාන එම සතුන් පුද්ගලිකව විකිණීම සිදු කෙරේ. පැන්තරයා සහ ජගුවරයා ගිරි කුමාර්ගේ ජීවිතයට පැමිණියේ ඒ අනුවය. ගිරි කුමාර් මෙම මහ බළලුන් දෙදෙනා මිලදී ගෙන ඇත්තේ කීව් සත්වෝද්‍යානයෙනි. ජගුවරයා පිරිමි සතකු වන අතර උගේ වයස මාස 20 කි. පැන්තරයාට මාස 6 කි.

ජගුවරයා දුර්ලභ දෙමුහුමක් බවත් පැවැසෙයි. ඌ දිවියකු සහ ජගුවර් ධේනුවකගේ පැටවෙකි. වසර 6 ක් තිස්සේ ගිරි කුමාර් ජීවත් වන්නේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාතේ සෙවර්ඩොනෙස්ක් නමැති කුඩා නගරයේය. මහ බළලුන් දෙදෙනා ඇති දැඩි කෙරෙන්නේ සිය නිවසේ බිම් මහලේය.

යුද ගැටුම් හේතුවෙන් තමන් ද තම මහ බළල් සුරතලුන් සමඟ බිම් මහලට වී බියෙන් සිටීමට සිදුවී ඇතැයි ගිරි කුමාර් බීබීසී පුවත් සේවය සමඟ පවසා තිබේ. ගැටුම් හේතුවෙන් ගිරි කුමාර් නිවසින් පිටවී යන්නේ මහ බළලුන් දෙදෙනාට ආහාර ගෙන ඒමට පමණි.

කිලෝ ග්‍රෑම් 23 ක් බර බැටලු මස්, කළුකුම් මස් සහ කුකුළුමස් පැන්තරයාට සහ ජගුවරයාට ලබා දීම කළ යුතුය. යුද්ධය නිසා ඒවායේ මිල දෙගුණයක් වී ඇතැයි ගිරි කුමාර් පවසයි.

'බෝම්බ පිපිරෙනවා නිවස වටේ ඇහෙනවා. මා ඉන්නේ බියෙන්. මගේ බළලුන් දෙන්නා ඉන්නේ බියෙන්. මට උන් තනි කරලා යන්න විදියක් නැහැ. ඉන්දියාවේ ඉන්න මාගේ අම්මා තාත්තා මට ආපසු ඉන්දියාවට එන්න කියනවා. ඒත් මට යන්න විදියක් නැහැ.' යැයි ගිරි කුමාර් පැහැදිලි කර තිබේ.

ගිරි කුමාර් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ උපත ලැබූවෙකි. ඔහු වෛද්‍යවරයකු මෙන්ම ඉන්දීය අවන්හල් හිමිකරුවෙකි. 2014 දී රුසියාව යුක්රේනයේ ක්‍රයිමියා අර්ධදීපය අල්ලා ගනිද්දී, ලුහාන්ස්ක් නගරයේ ගිරි කුමාර් ඉන්දීය අවන්හලක් පවත්වා ගෙන ගිය බව පැවැසෙයි. යුද ගැටුම්වලින් එම අවන්හල විනාශයට පත් වී තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS