පාකිස්තානය ගැන තීරණයක් ගන්න රැස්වෙයි



පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සඳුදා, එනම් අද (29) රැස්වීමට නියමිත ය.

පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. පාකිස්තානයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන අතර විදේශ සංචිත ප්‍රමාණය පහත වැටී තිබේ.

දකුණු ආසියානු කලාපයේ න්‍යෂ්ටික බලවතකු මෙන්ම උපයාමාර්ගික වැදගත්කමකින් යුතු පාකිස්තානයට අදාළ ණය මුදල ලැබීම සහතික කිරීම ලෝක බලවතුන් පියවර ගනු ඇතැයි ද විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තානයේ ජනගහනය මිලියන 230ක් වන අතර පාකිස්තානයට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමටත් එරට ජනයාට සහන සැලසීමටත් මෙම ණය මුදල අත්‍යවශ්‍ය වී තිබේ. එපමණක් නොව අනෙකුත් විදේශ මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල උපකාරි වනු ඇතැයි පැවසේ.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පාකිස්තානය ණය ගෙවීම් පැහැර හැරීම තත්ත්වයට පත්වීමේ අවදානමට මුහුණ දී සිටියි.

මේ වසරේ ජූලි මාසය අවසන් වීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පාකිස්තාන රුපියලේ අගය දරුණු ලෙස පහත වැටිණි. රජයේ දත්ත වාර්තාවලට අනුව පාකිස්තාන රුපියලට ගෙවුණු මාස හතක කාලයේ දී එහි අගයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් අහිමි වී තිබේ. ඉකුත් ජූලි මාසයේ දී පාකිස්තාන රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහළ ම අගයක් ද වාර්තා කළේ ය. ජූලි මාසයේ අග දී පාකිස්තාන රුපියල තරමක් දුරට ස්ථාවර වෙමින් අතිප්‍රමාණය වී තිබේ.

පාකිස්තානය ඉකුත් ජූලි මාසයේ දී නිකුත් කළ වාර්තාවලට අනුව පසුගිය වසර හා සැලකීමේ දී උද්ධමනය සියයට 25ක අගයක් ගෙන තිබේ.  ඉවුම් පිවුම්වලට අවශ්‍ය තෙල්, ධාන්‍ය වර්ග යනාදියේ මිල ගණන් ද දෙගුණු වී තිබේ.

ද්විපාර්ශවීය මූල්‍ය පහසුකම් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, සෞදි අරාබිය සහ චීනය යන රටවල් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක මුදලක් පාකිස්තානයට ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ මස මුලදී දැනුම් දී තිබිණි.

පාකිස්තානයට, මූල්‍ය පහසුකම් ලබාදීමේ එක් කොන්දේසියක් වූයේ ඉහත කී රටවලින් පාකිස්තානයට මූල්‍ය පහසුකම් ලැබීම ය.

එම මුදල් ද ඇතුළුව ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක මූල්‍ය සහාය තහවුරු කරගැනීමට පාකිස්තානය ගෙවුණු සති හයක කාලයේ දී සමත්ව තිබිණි.

ණය, මූල්‍ය, තෙල් සඳහා කරන ගෙවීම් කල් දමා ගැනීමට මෙන්ම ආයෝජන තහවුරු කරගැනීමට ද පාකිස්තානය සමත්විය. චීනය, සෞදි අරාබිය, කටාර් රාජ්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය යන රටවලින් පාකිස්තානයට මෙම සහාය ලැබේ. කෙසේ නමුත් මෙම මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙන්ම ලෝක බැංකුව ඇතුළු බහුපාර්ශවීය කණ්ඩායම්වලින් පාකිස්තානයට මුදල් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසුව ය.

එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදල ලබාගැනීම ඉතා වැදගත් වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් ලැබෙනු ඇතැයි මේ වනවිට අපේක්ෂා කෙරේ. එය මීට පෙර නිවේදනය කෙරුණු අගයට වඩා තරමක් වෙනස් අගයකි.


RECOMMEND POSTS