පාකිස්තානයේ පැය 18 ක් විදුලිය කැපෙනවා



ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 18 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රධාන නගර ආශ්‍රිතව පැය 6 ත් 10 ත්අතර විදුලිය කප්පාදුවක් සිදුවන බවත්, පිට පළාත්වල පැය 18 ක විදුලිය කප්පාදුවක් සිදුවන බවත් වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ 'ඩෝව්න්' පුවත්පතය‍.

විදුලි කප්පාදුව නිසාත්, රට මුහුණ දෙන බලශක්ති අර්බුදය නිසාත් කුඩා ව්‍යාපාර බොහොමයක් මේ වනවිටත් වැසී ගොස් ඇති බවත් පාකිස්තාන වැසියන් මහත් සේ පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.

මේ අතර, ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද දැඩි උණුසුම් කාලගුණයකින් පීඩා විදී. දැඩි උණුසුම මැද විදුලිය බලය නොමැති වීම නිසා ද පාකිස්තාන වැසියන් මහත් සේ අපහසුතාවට පත් වී සිටින බව වාර්තා වේ.‍

පාකිස්තානයේ විදුලි කප්පාදුව ආරම්භ වූයේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙනි. අර්බුදය ආරම්භ වූයේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය පැවැති අවස්ථාවේය. මේ වනවිට අර්බුදය උත්සන්න වී ඇති අතර, ඊට විසඳුම් සෙවීමට සිදුවී ඇත්තේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ ඔහුගේ නව රජයටය. විදුලිය කප්පාදුව හේතුවෙන් පාකිස්තාන නව රජය ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ සහ කර්මාන්ත සඳහා විදුලිය කප්පාදු කිරීම සිදුවනු ඇතැයි පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පැවැසුවේ සිය කැබිනට් මණ්ඩලය නම් කිරීමටත් පෙරය.

පාකිස්තානය පසුගිය කාලයේ තෙල්, ගල් අගුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීම කළේ යුක්රේනයෙනි. කෙසේ නමුත්, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ කටයුතුවලට බාධා එල්ල විය. බලශක්ති අර්බුදය උත්සන්න කිරීමට හේතු වූයේ මෙයයි.

පාකිස්තානයේ බලශක්ති පිරිවැය පෙබරවාරියෙන් අවසන් වූ මාස නවය ඇතුළත ඇමෙරිකන් ඩොලර් බිලියන 15 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවත්, අමතර නැව්ගත ගාස්තු සඳහා මුදල් ගෙවීමට පාකිස්තාන රජයට නොහැකි වී ඇති බවත් 'ඩෝව්න්' පුවත්පත වැඩි දුරටත් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS