පාකිස්තානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ ග්වදාර් නලරයේ පිහිටි තරු පහේ හෝටලයකට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 7 කි.
ප්‍රහාරයට ත්රස්තයන් තිදෙනකු පැමිණි බව පාකිස්තාන හමුදාව කියයි. මොවුන් කඩා වැදුණේ පර්ල් කොන්ටිනෙන්ටල් හෝටලයටය. හෝටලයට කඩා වදින අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරීන් ත්රස්තයන්ට හරස් වී ඇත. ත්රස්තයන් කළ වෙඩි තැබීමෙන් එක් ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් විය.
ඒ සමඟ පාකිස්තාන හමුදාව වහා ක්‍රියාත්මක වී හෝටලය වට කළ අතර ඔවුන් ත්රස්තවාදීන් අඩපණ කර පෙරළා වෙඩි තැබීමට සමත් වූ බව ද වාර්තා වේ. මෙම හෝටලයේ විදේශිකයන් රැසක් නැවැතී සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනා චීන ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන්ය.
ප්‍රහාරයේ වගකීම බාර ගත්තේ ‘බලුකිස්තාන විමුක්ති හමුදාව’ යන නමින් ක්‍රියාත්මක ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමය. මොවුන් කියා සිටියේ චීන සහ වෙනත් විදේශීය ආයෝජනයක් ඉලක්ක කර ගනිමින් තමන් මෙම ප්‍රහාරය කළ බවය.
බලුකිස්තාන විමුක්ති හමුදාව යනු, පාකිස්තානයට අයත් ප්‍රදේශයක් වන බලුකිස්තානය වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උත්සාහ ගන්නා බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමකි. මොවුන්ට සහාය දෙන්නේ ඉරාන රජය යැයි ද පැවැසෙයි. බලුකිස්තානය පළාත ඉරානයට ද මායිම්ව පිහිටයි.
ග්වදාර්හිදීය (රොයිටර්ස්)

