ප්‍රහාරයෙන් 16 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මාතෘ රෝහලට කඩා වැදුණු ත්රස්තවාදීන් සහ ඇෆ්ගන් රජයේ හමුදා සහ පොලිසිය අතරේ සිදුවුණු වෙඩි තැබීම්වලින් ඇෆ්ගන් සිවිල් වැසියෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 16 දෙනාගෙන් දෙදෙනකු අලුත උපන් බිලින්දන් දෙදෙනකු යැයි ඇෆ්ගන් පුවත් සේවා වාර්තා කර තිබේ.
ඇෆ්ගන් රජය යටතේ ක්‍රියාත්මක වන මෙම රෝහලේ මාතෘ වාට්ටුව පවත්වාගෙන යනු ලබන්නේ විදෙස් ආධාර මතය. එය ඇඳන් 100 කින් සමන්විත වාට්ටුවකි. රෝහලට කඩා වැදුණේ තලේබාන් හෝ තලේබාන් සංවිධානය සමඟ හවුල් වී සිටින අයි.එස්. ත්රස්තවාදීන් යැයි සැක කෙරේ. ඇෆ්ගන් තලේබාන් සංවිධානය කොටස් කිහිපයකි. ප්‍රධාන තලේබාන් සංවිධානය සන්නද්ධ මෙන්ම දේශපාලන අංශයකින් ද සමන්විතය.
පසුගිය කාලයේ ඇමෙරිකාව සමඟත් ඇෆ්ගන් රජය සමඟත් සාම සාකච්ඡා පැවැත්වීම සිදු කළේ මෙම තලේබාන් සංවිධානයයි. අයි.එස්. ත්රස්තවාදීන් එක් වී සිටින තලේබාන් කල්ලි සාමය පිළි ගන්නේ නැති බව පැවැසෙයි. ප්රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම සිදු කරන්නේ මොවුන්ය.
ත්රස්තවාදීන් 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් හිටිහැටියේ රෝහල් පරිශ්‍රයට ඇතුළුවූයේ ඊයේ (12) සවසය. ඒ සමඟ ඇෆ්ගන් හමුදාවේත් පොලිසියේත් නිලධාරින් වහා ක්‍රියාත්මක වී රෝහල වට කළ අතර, පැය ගණනක් දෙපිරිස අතර දරුණු අවි ගැටුම් පැවැතිණි.
රෝහලේ සිටි ගැබිනි මවුවරුන් බොහෝ දෙනකු ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වුවත්, අවසානයේ වෙඩි හුවමාරුවේ මියගිය 16 දෙනා අතර ගැබිනි මවුවරුන් ද සිටින බව පැවැසෙයි. ගැබිනි මවුවරුන් සහ බිලිඳන් සිටින වාට්ටුවට එල්ල වුණු මෙම කුරිරු තිරිසන් ප්‍රහාරය, මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කළ අපරාධයක් බවත් ප්‍රහාරයට සම්බන්ධ කිසිදු සංවිධානයකට කිසිදු සමාවක් නොලැබෙන බවත් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටරෙන් ඒරියන් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.
කාබුල්හිදීය (රොයිටර්)

