ප්‍රබල භූමි කම්පාවකින් කැලිෆෝනියාව කැලඹෙයි

ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය දකුණු දිග පළාත් සහ නගර කැලැඹිණි.
භූ විද්‍යාඥයන් පැවැසුවේ වසර 20 කට පසු දකුණුදිග කැලිෆෝනියාවට බලපෑ ප්රබලතම භූමි කම්පාව මෙය බවය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙස සටහන් විය. ලොස් ඇන්ජලීස් නුවර සිට කිලෝ මීටර් 240 ක් දුරින් භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි බව පැවැසෙයි. භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවූයේ රිජ්ක්‍රෙස්ට් නමැති නගරයටය.
නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. භූ ගත ගෑස් නළ පුපුරා යෑමෙන් නිවාස රැසක් ගිනිගත් අතර පැතිරීමට ඉඩ නොදී ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. තුවාල ලැබූ 10 දෙනකු රෝහල් ගත කළ බව ද පැවැසෙයි.
භූමි කම්පාව හටගත් අවස්ථාවේ රිජ්ක්‍රෙස්ට් වැසියන් මහත් සේ බියට පත් වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන කීපයක් ද වාර්තා වී තිබේ.
හානි වූ නිවාසවල වැසියන් වෙනුවෙන් ප්‍රජාශාලා කිහිපයක සහන කඳවුරු පිහිටුවා ඇති බවත්, ඔවුන් ඒවා වෙත යොමු කළ බවත් රිජ්ක්‍රෙස්ට් නගරසභා බලධාරීහු පැවැසූහ.
දකුණු දිග කැලිෆෝනියාවේ හටගත් භූමි කම්පාව ගැන තමන්ට සම්පූර්ණ විස්තර වාර්තාවක් ලැබුණු බවත්, සියල්ල යළි යථා තත්ත්වයට පත් වී ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
උතුරු ඇමෙරිකා සහ පැසිෆික් භූ තැටි මායිම පිහිටා ඇත්තේ කැලිෆෝනියාවට යටිනි. එහෙයින් භූමි කම්පා හට ගැනීමේ අවදානමක් පවතී.
ලොස් ඇන්ජලීස් (රොයිටර්ස්)

