ප්‍රංශ මැතිවරණය ඇරැඹේ



ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (30) ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 ස‍ඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

මැතිවරණය අදියර දෙකකින් සමන්විත අතර, අද (30) ආරම්භ වන්නේ පළමු අදියරය. දෙවැනි අදියර ලබන ජූලි 7 වැනිදා පැවැත්වෙනු ඇත.

පසුගිය දා යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය. ප්‍රංශය යනු යුරෝපා සංගමයේ ප්‍රබලතම සාමාජිකයෙකි. යුරෝපා සංගමයට අයත් රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව ඊට සහභාගී විය. එයින් ජයග්‍රහණය කළේ යුරෝපා රටවල ජාතිකවාදී දේශපාලන කණ්ඩායම්ය.

ඒ අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ ලිබරල් මෙන්ම මධ්‍යස්ථමතධාරී පක්ෂය පරාජය වූ අතර, ප්‍රංශයේ විපක්ෂය වන ජාතිකවාදී 'නැෂනල් රැලි' පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂවලට ජය හිමිවිය.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණය සැලකිල්ලට ගනිමින්, වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට ජනාධිපති මැක්රොන් පියවර ගත්තේය. අද මැතිවරණය ආරම්භ වන්නේ ඒ අනුවය.

(බීබීසී)


RECOMMEND POSTS