ප්‍රංශය ලොක්ඩවුන්: ජර්මනියේ තහංචි



දෙවැනි කොරෝනා රැල්ලත් සමඟ දිනපතා ආසාදිතයන් වැඩිවෙද්දී හෙට (30) සිට, දෙසැම්බර් පළමු වැනිදා තෙක් ප්‍රංශය යළි ලොක්ඩවුන් කරන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ජාතිය අමතමින් පැවැසීය.

ලොක්ඩවුන් කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරව යෑමට අවසර හිමිවන අතර, වෙළෙඳසැල් සහ ඔසුසල් විවෘතව තැබෙනු ඇතැයි ද පැවැසෙයි. රෝගී තත්ත්වයකදී රෝහලකට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ යෑමට ද අවසර ලැබේ. උදේ හෝ සවස හෝ ව්‍යායාම ගැනීමට නිවසින් පිටතට යෑමට හැකි බව ජනාධිපති මැක්රොන් ජාතිය ඇමැතූ අවස්ථාවේ වැඩිදුරටත් පවසා තිබේ.

‍ඊට අමතරව, වෙනත් කිසිදු හේතුවක් මත දෙසැම්බර් පළමු වැනිදා තෙක් නිවෙස්වලින් බැහැරවී නොයන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

අද වනවිට ප්‍රංශයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 1,235,132 කි. මරණ වාර්තා වූයේ  35,785 ක් ලෙසිණි. ලොක්ඩවුන් කිරීම සහ නිරෝධායන නීති පැනැවීම සම්බන්ධයෙන් ප්‍රංශ වැසියන්ගෙන් රජයට විරෝධයක් එල්ල වී තිබේ. පැරිසිය ඇතුළු ප්‍රධාන නගර කීපයක විරෝධතා පැවැත්වෙන අතර, පොලිසිය විරෝධතාකරුවන්ට හරස් වෙද්දී, විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි.

කොරෝනා දෙවැනි රැල්ල හමුවේ, දෙවැනි වරටත් ලොක්ඩවුන් තහිංචි පැනැවූ පළමු යුරෝපා රට වන්නේ ප්‍රංශයයි. මේ වනවිට ජර්මනියේ ද රෝහල් බොහොමයක් අසාදිතයන්ගෙන් පිරී ඇති බැවින්, මාසයක කාලයක් තහංචි පැනවීමට සිදුවන බව ජර්මන් චාන්සල්වරිය පවසා තිබේ. මේ වනවිට ජර්මනියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,81,200 දක්වා ඉහළ ගොස් තිබේ. ජර්මනියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 10,359 කි.

යුරෝපයේ සෙසු රටවල් වන මහා බ්‍රිතාන්‍යයේ, ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ යළිත් කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

අද (29) වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 1,194,681 කි. මරණ වාර්තා වූයේ 35,466 ක් ලෙසිණි. මහා බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිතයන් ගණන 9,42,275 කි. මරණ වාර්තා වන්නේ 45,675 ක් ලෙසිණි. ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ පමණක් නොව මහා බ්‍රිිතාන්‍යයේ ද පනවා ඇති තහංචි සම්බන්ධයෙන් එරට වැසියන්ගේ විරෝධය එල්ල එල්ල වෙමින් පවතී. ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 44,750,359 ක් බවත්, මරණ සංඛ්‍යාව 1,179,092 ක් බවත් වාර්තා වේ. තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 9,120,751 කි. මරණ වාර්තා වන්නේ 2,33,130 ක් ලෙසිණි.

රොයිටර්


RECOMMEND POSTS