පරාජය බාර ගන්න ට්‍රම්ප් සූදානම් නෑ

පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී ඇතැයි ඇමෙරිකා පුවත් සේවා වාර්තා කරයි.
ජනපති ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරන්නේ පසුගිය තුන්වැනිදා පැවැති ජනාධිපතිවරණය වංචා දූෂණවලින් පිරුණු එකක් බවටය. ජනාධිපතිවරණය තුන් වැනිදා පැවැත්වීමට කටයුතු යෙදුණත්, කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින්, ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකානුවන්ට කල්වේලා ඇතිව ඉඩ සලසා දී තිබුණි. එහෙයින් මෙවර වැඩිම ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා විය. බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද ලෙසය.
තුන් වැනිදා, ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී, ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමෙන් පසුව පවා තැපැල් ඡන්ද ලැබෙන්න විය. ට්‍රම්ප් තර්ක කරන්නේ, නියමිත දිනයට පසු ලැබෙන ඡන්ද නීත්‍යාණුකූල නොවන බවය.
නියමිත දිනයේ ඡන්ද ගණන් කිරීම අනුව, බයිඩන්ට වඩා ට්‍රම්ප් ඉදිරියෙන් සිටී. එහෙයින් පෙන්සිල්වේනියා ජනපදයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පවා නැවැත්වීමට ට්‍රම්ප් අධිකරණයේ සහාය පැතුවේය. පෙන්සිල්වේනියා ජනපදයේ ඡන්ද ගණන් කිරීම ඒ අනුව මෙතෙක් අවසන් වී නැත.
පරාජය බාර ගැනීමට නොහැකිව සිටින ට්‍රම්ප්, අධිකරණයේ පිහිටෙන්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගන්නා බවට ජෝ බයිඩන් ඊයේ (10) මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ට්‍රම්ප් දිගටම ජනාධිපති ධුරයේ රැදී සිටීමට උත්සාහ දැරීම ලැජ්ජාවට කරුණක් යැයි ද බයිඩන් පෙන්වා දුන්නේය.
බයිඩන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ යැයි මැතිවරණ බලධාරීන් පැවැසුවේ ඔහු ඡන්ද ගණ (ඉලෙක්ට්‍රෝරල් ඡන්ද) 270 සීමාව පසු කළ බැවිනි. කෙසේ නමුත් ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙතෙක් නිකුත් කර නොමැති බැවින්, නිල වශයෙන් ජනාධිපතිවරයා ජෝ බයිඩන් යැයි නිවේදනය කර නොමැත.
ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය එසේත් නැතිනම් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විත වන අතර, සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. බයිඩන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ යැයි රිපබ්ලිකන්වරුන් ද මෙතෙක් පිළිගෙන නැත.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පවත්වා සතියකට වැඩි කාලයක් ගත ඇතත්, ජයග්‍රහණය කළ තම අපේක්ෂක ජෝ බයිඩන්, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිනොගැනීම සම්බන්ධයෙන්, ඩිමොක්රටික් පක්ෂය ද මේ වනවිට නීතිමය පියවර ගැනීමට සූදානමින් සිටී.
මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ චීන ජනාධිපති ෂී ජින්පින් හෝ තවමත් ජෝ බයිඩන්ට සුබ පතා නැතැයි ද වාර්තා වේ. ඊට හේතුව වී ඇත්තේ ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි තීන්දුවක් ලබා දෙන තුරු ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති නොවන බව චීනය පෙන්වා දී ඇත.
ඡන්ද ගණ (ඉලෙක්ට්‍රෝරල් ඡන්ද) 270 සීමාව පසු කළ අවස්ථාවේදී, ට්‍රම්ප් ආධාරකරුවන් හැර ඇමෙරිකානුවෝ බොහෝ දෙනා ජෝ බයිඩන් ඔවුන්ගේ නව ජනාධිපති ලෙස පිළිගෙන ගත්හ. එම අවස්ථාවේදී රටවල් බොහොමයක රාජ්‍ය නායකයෝ බයිඩන්ට සුබ පැතූහ. කෙසේ නමුත් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් බයිඩන්ට සුබ පැතුවේ ඊයේ (10) දිනයේය. ට්‍රම්ප් හිතවාදීන් වන මෙක්සිකෝ ජනාධිපතිවරයාත් බ්‍රසීල ජනාධිපතිවරයාත් තවමත් බයිඩන්ට සුබ පතා නැති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

