නොබෙල් සාම තෑග්ග ලෝක ආහාර වැඩසටහනට



මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරමින්, ලොවෙන් සාගින්න තුරන් කිරීමට උත්සාහ ගන්නා ලෝක ආහාර වැඩසටහනට ලබා දීමට නොබෙල් කමිටුව තීරණය කළේය.

 

ලෝක ආහාර වැඩසටහනට නොබෙල් ත්‍යාගය හිමිවන බව නිවේදනය කළේ නොබෙල් කමිටුවේ සභාපති බෙරිට් රීස් ඇන්ඩර්සන්ය. ඒ, ඔස්ලෝ නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

කොරෝනා වයිරස වසංගතය හමුවේ ලොව පුරා මිලියන ගණනක් ආහාර අර්බුදයකට මුහුණ පා සිටින බවත්, ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත්, සාගින්න ලොවෙන් තුරන් කිරීමටත් උත්සාහ ගන්නා ලෝක ආහාර වැඩපිළිවෙළ වැනි සංවිධාන විශාල මෙහෙවරක් ඉටු කරන බවත් නොබෙල් කමිටු සභාපතිවරයා පැහැදිලි කළේය‍.

මෙවර නොබෙල් සාම ත්‍යාගලය වෙනුවෙන් පුද්ගලයන් 211 දෙනකුගේ නම් සහ සංවිධාන 107 ක් ඉදිරිපත් වී තිබුණු අතර, ඒ අතරින් ලෝක ආහාර වැඩසටහන තෝරා ගත්තේ යැයි ද නොබෙල් කමිටු සභාපති ඇන්ඩර්සන් වැඩි දුරටත් කියා සිටියේය.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ක්‍රෝනා මිලියන 10 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ක්) සහ රන් පදක්කමක් පිරිනැමෙයි. නොබෙල් ත්‍යාගලාභීන්ට මුදල් ත්‍යාග සහ පදක්කම් පිරිනැමීම සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදා නෝර්වේ ඔස්ලෝ නුවරදී පැවැත්වෙන විශේෂ උත්සවයේදීය. නොබෙල් පදනම පිහිටුවීමේ පුරෝගාමී ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කරමින්ය. ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගියේ 1896 වසරේ දෙසැම්බර් 10 වැනිදාය. දෙසැම්බර් 10 වැනිදා එම විශේෂ උත්සවය මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුවය. ඒ, කොවිඩ් 19 කොරෝනා වසංගතය හේතුවෙනි.

ලෝක ආහාර වැඩසටහන සංවිධානය පිහිටුවා ඇත්තේ 1961 වසරේදීය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ආයතනයකි. සාගින්න තුරන් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති විශාලතම ජගත් සංවිධානය ලෙස මෙය සැලකෙයි. මූලස්ථානය ඇත්තේ ඉතාලියේ රෝම අගනුවරය. සෑම වසරකම රටවල් 83 ක මිලියන 91.4 ක පිරිසකට ලෝක ආහාර වැඩසටහන සංවිධානයේ ආධාර උපකාර හිමිවෙයි.

ඔස්ලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS