නෙදර්ලන්තයේ බුර්කා නිකබ් තහනම ක්‍රියාත්මකයි



සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන බුර්කා සහ නිකබ් ඇඳුම් තහනම් කිරීමට නෙදර්ලන්ත රජය ගත් තීරණය  ක්‍රියාවට නැංවිය.

ඒ අනුව, නෙදර්ලන්තයේ වෙසෙන මුස්ලිම් කාන්තාවන්ට පාසල්, රෝහල්, දුම්රිය සහ බස් නැවැතුම්පොළවල ඇතුළු ජනතාව ගැවසෙන පොදු ස්ථානවල බුර්කා හෝ නිකබ් ඇඳුමින් සැරැසී සිටිය නොහැකි බව නෙදර්ලන්ත අභ්‍යන්තර කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

යුරෝපා රටක් වන නෙදර්ලන්තයේ මුස්ලිම් කාන්තාවෝ 100 සිට 400 දක්වා පිරිසක් බුර්කා සහ නිකබ් ඇඳුමින් සැරැසී සිටිති. නෙදර්ලන්තයේ ජනගහනය මිලියන 17 කි.

පොදු ස්ථානවල බුර්කා සහ නිකබ් තහනම ක්‍රියාත්මක කිරීමට නීති සකස් කෙරුණේ සිවු වසරක් පුරා පැවැති වාද විවාදවලින් පසුවය. ඒ සඳහා නව පනත් කෙටුම්පත පසුගිය ජූනි මාසයේදී නෙදර්ලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නෙදර්ලන්ත රජය සමත් විය.

පොදු ස්ථානවලට බුර්කා සහ නිකබ් ඇඳුමින් පැමිණෙන කාන්තාවන් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට යූරෝ 150 (ඇමෙරිකන් ඩොලර් 165) ක දඩ මුදලක් නියම කරන බවත් ආරක්ෂක අංශ පවසා තිබේ.

නෙදර්ලන්තයේ රොටර්ඩාම් වරාය නගරය කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවා ගත් ‘නීඩා’ නමැති ඉස්ලාමික් දේශපාලන පක්ෂය මෙම නව නීතියට දැඩි විරෝධයක් දක්වයි. ඔවුන් පෙන්වා දී ඇත්තේ, බුර්කා සහ නිකබ් තහනම අසාධාරණ බවය. අත්අඩංගුවට ගන්නා මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් දඬ මුදල් ගෙවීම පක්ෂයේ අරමුදල්වලින් සිදු කරන බව ‘නීඩා’ පක්ෂ නායක නූර්දීන් එල් ඕලානී පවසා ඇත.

ඇම්ස්ටර්ඩෑම්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS