නූලෙන් බේරෙයි

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මුනගැග්වා සහභාගී වූ මැතිවරණ රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, ජනපතිවරයාට එයින් කිසිදු අනතුරක් සිදු නොවිණි.
බෝම්බය පුපුරා ගියේ බුලවායෝ නගරයේ වයිට් සිටි ක්‍රීඩාංගනයේ පැවැති මැතිවරණ රැලියේදීය. මුනගැග්වා, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ උප ජනාධිපතිවරුන් දෙදෙනා සහ තවත් පක්ෂ සාමාජිකයන් පිරිවරාගෙන ජනතාවට අතවනමින්, වේදිකාවට ගොඩ වුණු සැණින් වේදිකාව අසල පිපිරීම සිදුවිය.
‘මට අඩි කිහිපයක් දුරින් පිපිරීමක් සිද්ධ වුණා. වාසනාවට මට අනතුරක් නැහැ. තව ටික කාලයක් ඉන්න පුළුවන්’ යැයි පිපිරීමෙන් පසු ඒ ගැන අදහස් දක්වමින් ජනපති මුනගැග්වා මාධ්‍ය හමුවේ කියා පැවැසීය.
සිම්බාබ්වේ රාජ්‍යයේ උප ජනපතිවරුන් දෙදෙනෙකි. ජනපතිවරයාට අනතුරක් සිදුනොවුණ ද, ඔහු සමඟ වේදිකාවට ගොඩවුණු සිම්බාබ්වේ උප ජනාධිපතිවරු දෙදෙනා වන කෙම්බෝ මොහාදී සහ කොන්සැන්ටීනෝ චිවෙන්ගා තුවාල ලැබූහ. උප ජනාධිපති චිවෙන්ගාගේ මුහුණ තුවාල සිදුවුණු බවත්, උප ජනාධිපති මොහාදීගේ පාදයක් තුවාල වුණු බවත් වාර්තා වේ. දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
75 හැවිරිදි ජනාධිපති මුනගැග්වා, පසුව ට්විටර් පණිවුඩයක් හරහා කියා සිටියේ තමා උප ජනපතිවරුන් දෙදෙනාගේ සුවදුක් විමසා බැලීමට රෝහලට ගිය බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්ය. උප ජනාධිපති චිවෙන්ගාගේ බිරිය ද වේදිකාව අසල සිට ඇත. ඇය ද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවාය.
සිම්බාබ්වේ සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් පැරීර්යෙන්යටාවා මාධ්‍ය හමුවේ කියා සිටියේ 15 දෙනකු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවත්, තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත්ය.
බුලවායෝ, සිම්බාබ්වේ රාජ්‍යයේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙයි. මෙය වසර ගණාවක පටන් සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල බළකඳවුරකි.
ජනාධිපති මුනගැග්වාගේ පාලක පක්ෂය සානූ දේශප්‍රේමී පෙරමුණය. සිම්බාබ්වේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන ජූලි 30 වැනිදාය. බුලවායෝ නගරයේ වයිට් සිටි ක්‍රීඩාංගනයේ සානූ දේශප්‍රේමී පෙරමුණ මැතිවරණ රැලිය ඒ වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
මුනගැග්වා, බලයට පත් වූයේ, වසර 37 ක් බලයේ රැඳී සිටි රොබට් මුගාබේගේ සමුගැනීමෙන් පසුවය. මුගාබේ බලය අත්හැරියේ, පාලක පක්ෂයෙන් සහ ජනතාවගෙන් දිගින් දිගට ම එල්ල වූ බලපෑම මැදය. ඒ, පසුගිය නොවැම්බර් මාසයේදීය.
එළඹෙන මහ මැතිවරණයෙන් ද මුනගැග්වා සහ ඔහුගේ සානූ දේශප්‍රේමී පෙරමුණට බලය හිමිවේවි යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. කෙසේ නමුත් මුගාබේගේ ප්‍රතිවාදියකු වුවත් මුනගැග්වා ද මුගාබේගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා යැයි විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි.
බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, සිම්බාබ්වේ ආරක්ෂක අංශ ඒ ගැන දිගට ම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ. සිම්බාබ්වේ විපක්ෂ නායක නෙල්සන් කැමිසා, බෝම්බ ප්‍රහාරය තරයේ හෙළා දැක ඇත.
(රොයිටර්)

