නිදහස් මැතිවරණයක් ඉල්ලමින් රුසියාවේ විරෝධතා

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ඉල්ලා රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වුණු විරෝධතා රැලියකට පොලිසිය හරහ් විය. විරෝධතාකරුවෝ 1,000 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
රුසියානු විපක්ෂ දේශපාලන ක්රියාකාරීන්ගේ සංවිධානය කළ මෙම විරෝධතා රැලිය පැවැත්වූයේ මොස්කව් අගනුවර නගරසභා ගොඩනැගිල්ල ඉදිරිපිටය.
රුසියානු මැතිවරණය ලබන සැප්තැම්බරයේ දී පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වීමට සූදානම් වූ විපක්ෂ අපේක්ෂකයන් බොහෝ දෙනකුට අධිකරණය දේශපාලන තහංචි පනවා ඇත. එසේ තහංචි පැනවූ විපක්ෂ අපේක්ෂකයෝ 30 දෙනෙක් වෙති.
ඊට අමතරව, තවත් අපේක්ෂකයන් කීප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත්, සැප්තැම්බර් මැතිවරණය අවසන් වනතුරු ඔවුන් බන්ධනාගාරගත කර තැබෙනු ඇති බවත්ය.
ඊයේ (27) දිනයේ විරෝධතා රැලියට එක්වුණු 1,074 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින සියලු විපක්ෂ ක්රියාකාරීන් ගණන 1,127 කි.
මොස්කව් නගරාධිපති සර්ගේයි සොබ්යානින් කියා සිටියේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් රැලියට සම්බන්ධ වූ කලහකාරීන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවය.
මොස්කව්හිදීය (රොයිටර්ස්)

