නාසි මතවාද බැහැර කළ යුතුයි

යුක්රේනය “නිරායුධ” සහ “නාසි මතවාදවලින්” තොර අපක්ෂපාතී රටක් විය යුතු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෙනසුරාදා පැවැසීය.
රුසියානු ගුවන් සේවයක් වන ‘ඒරෝෆ්ලොට්’ හි සේවක සේවිකාවන් පිරිසක් අමතමින් මොස්කව් නුවර දී ව්ලැදිමීර් පුටින් ඒ බව පැවැසීය.
බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවමින් රුසියාවට යුද ප්‍රකාශ කිරීමට සමාන දෙයක් කර ඇතැයි ද හෙතෙම කීය. සම්බාධක පැනවීම යුද්ධයක් හා සමාන කළ රුසියානු ජනාධිපතිවරයා “දෙවියන්ට ස්තූතිවන්ත වන්නට” එසේ සිදුව නැතැයි ද කීවේ ය.
යුක්රේනය යුද සේනාංකවලින් තොර මධ්‍යස්ථ රටක් බවට පත් කිරීමත් එමඟින් රුසියාවට තර්ජනයක් නොවීම තහවුරු කිරීමත් පමණක් නොව යුක්රේනය නාසි මතවාදවලින් තොර රටක් බවට පත් කිරීමට අවශ්‍ය බව රුසියානු ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේ ය. රුසියානු ජනාධිපතිවරයා පෙන්වාදෙන මෙම සියලු කරුණු කාරණා සහ හේතු, හෙතෙම යුද්ධයක් ආරම්භ කිරීම සඳහා හේතු සාධක කරුණු පමණක් බවත් ඒවාට කිසිදු පදනමක් නොමැති බවත් යුක්රේනය මෙන්ම බටහිර රටවල් ද පෙන්වා දෙයි.
රුසියාව විශේෂ යුද මෙහෙයුමක් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙබවාරි මස 24 වැනිදා අලුයම් කාලයේ දී ප්‍රකාශ කළේ ය.
මෙම අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ගෙවුණු සති දෙකකට ආසන්න කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් රුසියාව හුදෙකලා කිරීමේ අරමුණින් රුසියාවට සම්බාධක පනවා ඇත. මෙම සම්බාධක හේතුවෙන් රුසියානු ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇතැයි ද පැවසේ.
(රොයිටර්)

