නව වසර උදාවෙද්දී තුර්කියට ත්‍රස්ත ප්‍රහාරයක්



නව වසර උදාවත් සමඟ නේටෝ රාජ්‍යයක් වන තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු ත්‍රස්තවාදියකු කළ වෙඩි තැබීම්වලින් අවුරුදු උදාව සමරමින් සමාජ ශාලාවේ සිටි 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 40 කට වැඩිය.

ත්‍රස්තවාදියා සමාජ ශාලාවට කඩා වැදී ඇත්තේ නත්තල් සීයා කෙනකු ලෙස සැරැසීය. එහෙයින්, ඔහු ගැන සමාජ ශාලාවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ වැඩි තැකීමක් නොකර ඇතැයි පසුව අනාවරණය විය. 

නත්තල් සීයා මෙන් සැරැසුණු ත්‍රස්තවාදියා සමාජ ශාලාවේ සිටි පිරිස් වෙත වෙඩි වරුසාවක් එල්ල කරන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී අවසන්ය.

ත්‍රස්තයා සමාජ ශාලාවට කඩා වැදී වෙඩි තැබුවේ පළමු වැනිදා අලුයම් කාලයේය. ඒ වනවිට නව වසර සැමරීමට තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් සමාජ ශාලාවට රැස්ව සිටියහ.

එය බෙදුම්වාදී සටන්කාමීන්ගෙන් හෝ අසල්වැසි සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්.අයි.එස්. බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ හෝ සැහැසි ක්‍රියාවක් බව අනුමාන කෙරේ.


RECOMMEND POSTS