නව අගමැති ඉන්දියාව ගැන කතා කරයි



පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වන්නේ කාශ්මීර අර්බුදය විසඳා ගැනීමට හැකි වුණොත් පමණක් බවය.

2019 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, කාශ්මීරය සම්බන්ධයෙන් පැවැති 370 වැනි වගන්තිය අහෝසි කිරීම ෂෙහ්බාස් ෂරීෆ්ගේ දැඩි දෝෂදර්ශණයට ලක් විය.

කාශ්මීර නිම්නයේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට සිදුවන අසාධාරණකම් සහ කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් වෙනුවෙන් හඩ නගන බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් පැහැදිලි කළේය.

2019 වසරේ දී ඉන්දීය රජය 370 වැනි වගන්තිය අහෝසි කිරීම සහ කාශ්මීර මුස්ලිම් වැසියන්ට සිදුවුණු කෙණෙහිලිකම් සම්බන්ධයෙන් කිසිවක් නොකර බලා සිටියේ යැයි නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂ රජයට දොස් නැගීමට ද අමතක නොකළේය.

පාකිස්තාන විපක්ෂ නායක ලෙස කටයුතු කළ 'මුස්ලිම් ලීගය එන්' දේශපාලන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන 70 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තානයේ හිටපු නායක නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. 'මුස්ලිම් ලීගය එන්' දේශපාලන පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ නවාස් ෂරීෆ්ගේ දියණිය මර්යාම් ෂරීෆ් ය.

ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසුමෙන් ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් විය. 2023 වසරේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙනතුරු ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත. ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ පසුගිය 9 වැනිදාය.

ඒ, ඔහුට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වීමෙනි. විපක්ෂය තමන් ධුරයෙන් නෙරපා දැමීම කළේ ඇමෙරිකාවේ සහාය ඇතිව බවත්, පාකිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකාවේ රූකඩයක් බවත් ඉම්රාන් චෝදනා නගා ඇත. එසේ චෝදනා නගද්දී ඉම්රාන් ඉන්දියාව වර්ණනා කළේය.

ඉන්දියාව කිසිදු අවස්ථාවක ඇමෙරිකාවට යට නොවුණු බවත්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී පවා ඉන්දීය රජය රුසියාව සමඟ තෙල් ගනුදෙනු කරන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයට 'කොන්දක්' ඇති බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසුවේ දෝෂාභියෝගයට මුහුණ දීමට පෙරය.

'ඉන්දියාවට ආදරේ නම්, ඉන්දියාවට යන්නැයි' එම අවස්ථාවේදී, මුස්ලිම් ලීගය පක්ෂයේ නායිකා මර්යාම් ෂරීෆ්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දොස් නැගුවාය.

(රොයිටර්)


RECOMMEND POSTS