නවසීලන්ත දූපතක ගිනි කන්දක් පිපිරේ

නවසීලන්තයට අයත් සංචාරක ආකර්ෂණයක්වන ‘වයිට් අයිලන්ඞ්’ කුඩා දූපතේ පිහිටි යමහල (ගිනි කන්ද) හිටිහැටියේ සක්‍රීය වී පුපුරා යෑමෙන් යමහල නැරැඹීමට යමහල් කුහරය අසල සිටි සංචාරකයෝ 20 දෙනෙක් තුවාල ලැබූහ. එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය.

යමහල පුපුරා යද්දී, යමහල් කුහරය අසලට ගොස් සිටි සංචාරකයන් මෙසේ තුවාල ලැබූ බව පැවැසෙයි. ‘වයිට් අයිලන්ඞ්’ දූපත සංචාරක ආකර්ෂණයක් වන්නේ මෙම යමහල හේතුවෙනි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් නවසීලන්ත පුවත් සේවා වාර්තා කරයි.

වයිට් අයිලන්ඞ් පිහිටා ඇත්තේ නවසීලන්ත උතුරු දිවයිනට ඔබ්බෙන් ප්ලෙන්ටි බොක්කේ සිට කිලෝ මීටර් 48 ක් දුරිනි. යමහල පුපුරා දුම්වලා නිකුත් වූ බවත් මේ වනවිට කිලෝ මීටර් 12,000 ක් දුරට දුම්වලා පැතිර ගොස් ඇති බවත් වාර්තා වේ. ‘වයිට් අයිලන්ඞ්’ කුඩා දූපත ‘වකාරී’ යනුවෙන් ද හැඳින්වෙයි.
යමහල පිපිරී යද්දී, දූපතේ සිටි සංචාරකයන් ගණන 100 ක් යැයි ද පැවැසෙයි. යමහල පිපිරී ගියේ නවසීලන්ත වේලාවෙන් සවස 2.11 ටය. යමහල පුපුරා යද්දී දූපතේ කොටුවුණු සහ තුවාල ලැබූ සංචාරකයන් මුදා ගැනීමට හෙලිකොප්ටර් 7 ක් යොදා ගැණුනි. ඊට අමතර නවසීලන්ත වෙරළාරක්ෂක බෝට්ටු ද යෙදවිණි.

දූපතේ සිටි පිරිස කඩිනමින් බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් සිදු කිරීමට නවසීලන්ත බලධාරීන්ට සිදුවුණු බව නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.
යමහල පුපුරා යද්දී සංචාරකයන් විසින් රූගත කරනු ලැබූ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. ‘වයිට් අයිලන්ඞ්’ දූපතේ මෙම යමහල මීට පෙර 2012 දී, 2013 දී සහ 2016 දී පුපුරා ගියේය. 1975 වසරේ සිට 2000 තෙක් කාලයේ දූපතට යෑම තහනම් කර තිබුණි. ඒ, යමහල නිරන්තරයෙන් සක්‍රීය වී පුපුරා ගිය නිසාය.
වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)

