නවසීලන්ත ක‍්‍රයිස්ට්චර්ච් ප‍්‍රහාරකයා අධිකරණයට



නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා නවසීලන්ත මුස්ලිම් වැසියන් 51 දෙනකු අමු අමුවේ ඝාතනය කළ 29 හැවිරිදි බ්‍රෙන්ටන් ටෙරන්ට් නමැති  ඕස්ටේ‍්‍රලියානුවා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

බ්‍රෙන්ටන් ටෙරන්ට් කඩා වැදී පහර දුන්නේ අල් නූර් සහ ලින්වුඞ් මුස්ලිම් පල්ලියටය. ලින්වුඞ් මුස්ලිම් පල්ලිය පිහිටා ඇත්තේ අල් නූර් පල්ලියේ සිට කිලෝ මීටර් 5 ක් දුරිනි. ප‍්‍රහාරය එල්ල වූයේ පසුගිය 2019 වසරේ මාර්තු 15 වැනිදාය. බ්‍රෙන්ටන් ටෙරන්ට් 29 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු සුදු අන්තවාදියෙකි.  බ්‍රෙන්ටන් ටෙරන්ට්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලින් ඔහු තවත් මුස්ලිම් පල්ලියකට කඩා වැදී පහරදීමට සැලැසුම් කර තිබුණු බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.

බ්‍රෙන්ටන් ටෙරන්ට් සිදු කළ මෙම ප‍්‍රහාරයෙන් පසු, නවසීලන්තයේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පියවර ගත්තාය. මිනීමැරුම් චෝදනා 51 කට, මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා 40 කට සහ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවකට සම්බන්ධ වීම යන චෝදනා සම්බන්ධයෙන් බ්‍රෙන්ටන් ටෙරන්ට් ට වරදකරු විය. චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් බ්‍රෙන්ටන් ටෙරන්ට්, කිසිදු සමාවක් නොලැබෙන බවත්, ජීවිතාන්ත සිරදඬුවමක් හිමිවනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ක‍්‍රයිස්ට්චර්ච් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS