ධවල මන්දිරයේ මාස්ක් අනිවාර්යයි



ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස අසාදිතයන් හමුවීමත් සමඟ ධවල මන්දිර කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පැලැදීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය වී ඇත්තේ, ධවල මන්දිරයේ ‘වෙස්ට් විංග්’ කොටසේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ එහි පැමිණෙන පිරිසටය.

ඇමෙරිකන් ජනපතිවරයාගේ ප්‍රධාන කාර්යාලය වන ඕවල් කාර්යාලය, කැබිනට් කාමරය, රූස්වෙල් කාමරය සහ හදිසි සාකච්ඡා පැවැත්වෙන කාමරය පිහිටා ඇත්තේ ධවල මන්දිරයේ ‘වෙස්ට් විංග්’ යනුවෙන් හැඳින්වෙන මෙම කොටසේය.

ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මෙසේ මුහුණ ආවරණ අනිවාර්ය කෙරුණේ ධවල මන්දිරයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟය.

ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය කේටී මිලර් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මෙහෙකරුවකු ද ඒ අතර සිටින බව පැවැසෙයි. ඒ අනුව, ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ධවල මන්දිරයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, උප ජනාධිපති මයික් පෙන්ස් ද ‘කොවිඞ් 19’ පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන අතර, ඔවුන්ට වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍යවරු කියති.

ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස්ක් අනිවාර්ය වුවත්, ඇමෙරකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාස්ක් පලඳින්නේ නැති බවත්, ඔහු ඒ ගැන තැකීමක් නොකරන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS