ධවල මන්දිරයේ දෙදෙනකුට කොරෝනා



ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගේ පෞද්ගලික සහායිකාව ද ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් බව තහවුරු වී ඇත.

ඒ අනුව, ධවල මන්දිරයේ කොරෝනා ආසාදිත නිලධාරීන්ගේ ගණන 3 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන කේටී මිලර් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ උප ජනපති මයික් පෙනේස් ද වයිරස පරීක්ෂණයට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

ඉවන්කා පමණක් නොව ඇගේ සැමියා ජෙරඞ් කුෂ්නර් ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස කටයුතු කරති. කෙසේ නමුත් ඉවන්කා හෝ ජෙරාජ් හෝ පසුගිය සති කිහිපය ඇතුළත ජනපති ට්‍රම්ප් හමුවී නැති බව ධවල මන්දිරය කියයි. එමෙන්ම ඉවන්කා සහ සැමියා ජෙරාඞ් කොවිඞ් 19 ආසාදිතයන්දැයි සොයා බැලීමේ පරීක්ෂණවලට යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී නැති බව මේ වනවිට තහවුරු වී ඇත.

ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ නිවසින් එළියට බසින සෑම කෙනකුම මුහුණු ආවරණ පැලැඳිය යුතු බවය. කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හෝ මුහුණු ආවරණ පලඳින්නේ නැත.

පසුගිය සිකුරාදා (8) දෙවැනි ලෝක යුද්ධයේ ඇමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්වීය හමුදා ජර්මනියේ නාසි හමුදා පරාජය කිරීම සිහිපත් කරමින් විශේෂ සැමරුම් උත්සවයක් වොෂින්ටනයේ දී පැවැත්විණි. අවුරුදු 90 ඉක්මවූ දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වුණු ඇමෙරිකන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එම සැමරුමට එක් වූහ. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ද සැමැරුමට එක් ව සිටියේ මුහුණු ආවරණ පලඳින්නේ නැතිවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS