ධවල මන්දිරයේ ජන හමුවක්



කොවිඩ් 19 කොරෝනා වයිරසය පරාජය කිරීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජන හමුවක් පැවැත්වීය.

ලබන නොවැම්බර් තුන් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් හොඳ නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව සිය ආධාරකරුවන්ට සහ රිපබ්ලිකන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට ඒත්තු ගැන්වීම ජනපති ට්‍රම්ප්ගේ මෙම ජන හමුවේ අරමුණ විය.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එය ජන හමුවක් නොව, මැතිවරණ රැලියක ස්වරූපයක් ගත් බවය.ජන හමුව පැවැත්වූයේ ධවල මන්දිරය ඉදිරිපිට එළිමහනේදීය. ට්‍රම්ප් සිය ආධාරකරුවන් ආමන්ත්‍රණය සිදුවූයේ ධවල මන්දිර සදලුතලයේ සිටය. මුහුණු ආවරණයක් පැලඳ සදලුතලයට ආ ජනපතිවරයා පසුව මුහුණු ආවරණය ගලවා ඉවත් කරමින්, රැස්ව සිටි පිරිස අමතන්න විය.

ධවල මන්දිර වෛද්‍ය ෂොන් කොන්ලි දිගින් දිගටම පවසා ඇත්තේ ට්‍රම්ප් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බවත්, පීසීආර් පරීක්ෂණ අනුව ට්‍රම්ප්ගේ සිරුරේ වයිරස විෂබීජ නැති බවත්ය.

ට්‍රම්ප් කඩිනමින් සුවය ලැබුවේ, ඔහුට අත්හදා බැලීමේ මට්ටමේ පවතින ඖෂධ කීපයක් ලබා දීමෙන් යැයි වෛද්‍යවරයා පවසා තිබේ. ජනපති ට්‍රම්ප් ද ඒ බව තහවුරු කරමින් පවසා ඇත්තේ එම ඖෂධ නොමිලේ ඇමෙරිකානු වැසියන්ට ලබා දීමට තමන් පියවර ගන්නා බවය.

ජන හමුවට එක් වෙමින් ට්‍රම්ප් පළමුවෙන් චීන වයිරසය ලෙස කොරෝනා වයිරසය හඳුන්වා දෙමින් අවධාරණය කළේ වයිරසයට බියක් නොදක්වන ලෙසය. වයිරසය ලොවට දායාද කළ චීනයට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමක් කරන්න සිදුවෙන බව ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඉන්පසු රටේ නීතිය හා සාමය කඩවීම් සම්බන්ධයෙන් පමණක් නොව වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් කළේය. නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සහභාගී වී, ජයග්‍රහණය කර ඇමෙරිකාව තව දුරටත් ශ්‍රෙෂ්ඨ තැනක් කරනවා යැයි ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS