දෙවැනි විවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර දෙවැනි සජීවී රූපවාහිනී විවාදය ලබන 15 වැනිදා, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනපති විවාද කොමිසම තීරණය කර ඇත.

විවාද පැවැත්වීමේ කටයුතු කළමණාකරන විවාද කොමිසම මෙම තීරණය ගත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් 19 ආසාදිතයකු වීම නිසාය. ජනපති ට්‍රම්ප්ගේ ධවල මන්දිර වෛද්‍යවරයා කුමක් කීවත්, සෞඛ්‍ය නිර්දේශ අනුව, ට්‍රම්ප්ගෙන් අන් අයට වයිරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් කාගේත් ආරක්ෂාවට දෙවැනි විවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන බව කොමිසම නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනපතිවරයා සිය වඅප්‍රසාදය පළ කර ඇත්තේ තමන් තවදුරටත් වයිරස ආසාදිතයකු නොවන බව පවසමිනි. දෙවැනි විවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර ඇති අතර, ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත්තේ සෞඛ්‍ය උපදෙස් අනුව, විවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ප්‍රසංශනීය බවය.

දෙවැනි විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ මියාමි නුවර කේන්ද්‍රකොට ගනිමිනි. විවාදය වීඩියෝ තාක්සනය ඔස්සේ පැවැත්වෙන්නේ නම්, ට්‍රම්ප්ට ධවල මන්දිරයෙන් පිටවී යෑමට අවශ්‍ය නොවනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර ඊට ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි. රිපබ්ලිකන් පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක ට්‍රම්ප් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර පළමු විවාදය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 29 වැනිදාය. ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කොරෝනා ආසාදිතයන් බව තහවුරු වූයේ එම විවාදයෙන් පසුවය.

එම විවාදයේ දී ද ජෝ බයිඩන් මුහුණු ආවරණ පැලඳීම ට්‍රම්ප්ගේ සමච්චලයට ලක් විය. විවාදයෙන් පසු ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් අවස්ථා 4 කදී, පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවත් තහවුරු වී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS