දින 28 ක් කොරෝනා ඉන්නවා
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට, මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩ ආදියෙහි දින 28 ක් දක්වා නොනැසී රැදී සිටීමට හැකියාව ඇතැයි ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් අනාවරණ කර තිබේ.
එහෙයින් සෑම විටම ජංගම දුරකතය තිර, මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩවලින් නිපදවූ බඩු බාහිරාදිය පිරිසිදුව තබා ගැනීම කළ යුතු බවත්, අප ද සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෑත්පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත් ඔස්ට්‍රේලියා ජාතික වෛද්‍ය පර්යේෂණ ඒකකයට සම්බන්ධ වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මෙන් නොව, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය බලවත් බවත් එය විනාශ කිරීමට හැකිවූයේ සෙල්සියස් අංශක 20 කට (ෆැරන්හයිට් 68 වැඩි) වඩා වැඩි උෂ්ණත්වයකට නිරාවරණය කිරීමෙන් බවත් වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පවසති. ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මෙවැනි පුෂ්ඨ මතුපිට රැදෙන්නේ දින 17 ක කාලයකට පමණක් බව ද වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නම් හැකි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම කළ යුතු වෙයි. වයිරසය සිරුරට ඇතුළු වන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වනලිනි. මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම මෙන්ම දෑත් පිරිසුදුව තබා ගැනීම ද අනිවාර්ය වෙයි.
අද (12) වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 37,750,032 ක් ලෙස වාර්තා විය. කොරෝනා මරණ වාර්තා වූයේ 1,081,453 ක් ලෙසය. කොරෝනා වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 28,360,336 කි.
තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,991,999 ක් වන අතර ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ 2,19,695 කි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,120,538 ක් වන අතර මරණ වාර්තා වන්නේ 109,184 ක් ලෙසිණි.
කැන්බරාහිදීය (ඒ.එෆ්.පී.)

