දිනකදී ආසාදිතයෝ 1,83,020 ක



එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඊයේ (21) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පෙරේදා වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,83,020 කි. ඒ අතරින් 1,16,000 ක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන් සහ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකා රටවලිනි.

මීට පෙර මේ අයුරින් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වූයේ පසුගිය ජූනි 18 වැනිදාය. එම ගණන 1,81,232 කි. මේ වනවිට ලොව පුරා වාර්තා වන ‘කොවිඩ් 19’ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 8.7 ඉක්මවා ගොස් ඇත. ලොව පුරා සමස්ත මරණ වාර්තා වන්නේ 4,61,000 ක් ලෙසය.

‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් පමණක් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 2.3 කි. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර ඇත්තේ ටෙක්සාස්, ෆ්ලොරීඩා සහ ඇරිසෝනා ජනපදවලින් ඉදිරි දින කීපයේ ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවනු ඇති බවය. ඇමෙරිකාවෙන් පමණක් වාර්තා වන මරණ ගණන 1,19,969 කි.

ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන, දෙවැනි ස්ථානයට පත්ව ඇති රට වන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයේ ‘කොවිඩ් 19‘ ආසාදිතයන් ගණන මේ වනවිට 50,000 පසු කර ඇත. ඊයේ (21) වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 50,617 ක් දක්වා ඉහළ ගියේය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS