දකුණු කොරියා ජනපතිගෙන් තර්ජනයක්



මින් ඉදිරියට දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුන් යෝල් තර්ජනය කර තිබේ.

උතුරු කොරියාව යළි දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, 2018 වසරේ සිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ හමුදා ගිවිසුම එම මොහොතේම අවලංගු කරන බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙසේ අනතුරු ඇඟවීම් කළේ, උතුරු කොරියානු ඩ්‍රෝන යානා තුනක් පසුගිය දා දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවිනි. එම ඩ්‍රෝන යානා පහර දී විනාශ කිරීමට දකුණු කොරියානු හමුදාව සමත් විය.

දකුණු කොරියාව එම ඩ්‍රෝන යානා විනාශ කළේ ඔවුන්ගේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි. මේ අයුරින් උතුරු කොරියාව, දකුණු කොරියානු දේශසීමා උල්ලංඝනයක් කළේ 2007 වසරෙන් පසුවය.

උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් සීමාවට පිවිසියේ ගිම්පෝ නැමැති දේශසීමා නගරයට  ඉහළිනි. ඩ්‍රෝන යානා පහර දී විනාශ කිරීම සිදුවූයේ දකුණු කොරියාව සතු කේ.ඒ.1 ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි.

මේ අතර උතුරු කොරියා හමුදාවේ දෙවැනි බලසම්පන්න පුද්ගලයා ලෙස සැලකෙන හමුදා ප්‍රධානී පාක් ජොන් චොං සිය ධුරයෙන් නෙරපා දැමීමට නායක කිම් ජොන් උන් කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පාක් ජොන් චොං උතුරු කොරියානු මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරයා ද විය. පාක් ජොන් චොං ඉවත් කිරීම කර ඇත්තේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. පාක් ජොන් චොං සිය ධුරයෙන් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය දෙවැනිදාය.

මීට අමතරව, දකුණු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද අභ්‍යාසයක් පවත්වන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ කීවේ, දකුණු කොරියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කළේ දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී න්‍යෂ්ටික යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවය. දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ උතුරු කොරියාවේ දැඩි විවේචනයට ලක් විය.  

(රොයිටර්)


RECOMMEND POSTS