දකුණු අප්‍රිකාවට කලින් ’ඔමික්‍රෝන්’ නෙදර්ලන්තයේ තිබිලා



දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් 'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීමට පෙර, තම රටේ එම විකෘතිය තිබුණු බව නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.

නෙදර්ලන්ත ජාතික සෞඛ්‍ය හා පරිසර ආයතනය පවසා ඇති ආකාරයට, නොවැම්බර් 19 වැනිදාට පෙරත්, ඉන්පසු නොවැම්බර් 23 වැනිදාත් එරට 'කොවිඩ් 19' ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල ජාන විශ්ලේෂණයට යොමු කළ පසු 'ඔමික්‍රෝන්' විකෘතිය හමුවී ඇත.

දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් පළමු වරට 'ඔමික්‍රෝන්' විකෘතිය හඳුනා ගත්තේ නොවැම්බර් 19 වැනිදාය. දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්, විකෘතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළේ නොවැම්බර් 24 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරස විකෘතිය 'ඔමික්‍රෝන්' යනුවෙන් නම් කළේ නොවැම්බර් 27 වැනිදාය.

නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් පළමු එරටින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවුණු බව නිවේදනය කළේ පසුගිය නොවැම්බර් 26 වැනිදාය. එම ආසාදිතයන් දකුණු අප්‍රිකාවේ සිට ආ ගුවන් මගීන්ය. කෙසේ නමුත් මේ වනවිට නෙදර්ලන්ත බලධාරීන් වැඩි දුරටත් පවසා ඇත්තේ, ගුවන් මගීන් අතරින් එම ආසාදිතයන් හමුවීමටත් පෙර සිට නෙදර්ලන්තයේ 'ඔමික්‍රෝන්' පැතිර යමින් තිබුණු බවය.

'ඔමික්‍රෝන්' විකෘතිය මෙතෙක් බිහිවුණු සියලුම 'කොවිඩ් 19' විකෘති එක් වී සහ මෙතෙක් හමුනොවුණු විකෘති එක් වී නිර්මාණය වූවක් බව තහවුරු වී තිබේ. විකෘතිය ගැන ලොව පුරා බියක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. එසේ වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ 'ඔමික්‍රෝන්' ගැන අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට හේතුවක් නැති බවය. 'ඔමික්‍රෝන්' විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත්තේ තව සති දෙකකින් හෝ තුනකින් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS