තෙල් නැවේ ගින්න පාලනය කෙරේ

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කළ බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවැසීය.
ගින්න නිවීම සඳහා යුද නෞකා ද ඇතුළුව නාවික යාත්‍රා 11 ක් ඊයේ (4) යෙදවිණි. ඊයේ (4) රාත්‍රී 9 පමණ වනවිට ගින්න සෑහෙන දුරකට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබුණි.
ගින්න පාලනය කිරීමත් සමග තෙල් නෞකාව ගැඹුරු මුහුද දෙසට තල්ලු කිරීමට ද කටයුතු යෙදුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම පරිදි රුසියානු යුද නැව් දෙකක් ද ගින්න නිවීමේ කටයුත්ත සඳහා සහාය දුන් බව වාර්තා වේ.
ඊයේ (4) රාත්‍රීයේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රා 3 ක් සහ තෙල් නෞකාව තල්ලු කිරීමට ටග් බෝට්ටු 4 ක් ද යෙදවිණි.
ටග් බෝට්ටු හතරෙන් දෙකක් හම්බන්තොට වරායේ තිබූ රාවණා සහ වසභ යන ටග් බෝට්ටු බවත් අනෙක් දෙක බොරතෙල් නෞකාව අයත් සමාගම මුදල් ගෙවා ගෙන්වා ගත් විශේෂිත ටග් බෝට්ටු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා පැහැදිලි කර තිබේ.
‘නිව් ඩයමන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි.
කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.
මෙම නෞකාව බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1,700ක් රැගෙන ගමන් කරමින් තිබී ඇත.
නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් පිලිපීන ජාතිකයකු මරණයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. මෙම ගින්න ඇතිවූයේ බ්‍රහස්පතින්දා, එනම් පෙරේදා ය.
කාර්ය මණ්ඩලයේ ඉතිරි 22 දෙදෙනා (ග්‍රීක ජාතිකයන් පස්දෙනකු-පිලිපීන ජාතිකයන් 17 දෙනකු) මුදා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර සඳහන් කළේය.
හර්ෂණ තුෂාර සිල්වා

