තායිලන්ත මැතිවරණයෙන් විපක්ෂ කණ්ඩායම් ඉදිරියට
තායිලන්ත මහ මැතිවරණයෙන්, ඉදිරියට පැමිණීමට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් වන ‘මූව් ෆෝවර්ඩ්’ දේශපාලන පක්ෂය සහ ‘පූ තායි’ දේශපාලන පක්ෂ සමත්විය.
හිටපු හමුදාපති, අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචාගේ ‘එක්සත් තායි ජාතික පක්ෂය’ ප්රමුඛ හමුදා හිතවාදී දේශපාලන පක්ෂ පරාජයට පත්විය. තායිලන්ත මහ මැතිවරණය පසුගිය 13 වැනිදා පැවැත්වූයේ එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී ‘මූව් ෆෝවර්ඞ්’ පක්ෂය ආසන 151 ක් ද ‘පූ තායි’ පක්ෂය ආසන 138 ක් ද දිනා සිටියේය. බහුතරය නොමැති බැවින් ‘මූව් ෆෝවර්ඞ්’ පක්ෂයට හෝ ‘පූ තායි’ පක්ෂයට හෝ එකිනෙකා අතරේ හෝ වෙනත් පක්ෂ හවුල් කර ගනිමින් හෝ නව රජයක් පිහිටුවීමට සිදුවෙයි.
‘මූව් ෆෝවර්ඞ්’ පක්ෂයට නායකත්වය දෙන පීටා ලිම්ජරෝනෙරාත් බොහෝ දුරට තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 42 හැවිරිදි පීටා ලිම්ජරෝනෙරාත් නව දේශපාලනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ප්‍රතිඥා දී ඇත. නවසීලන්තයේ සහ ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරා ඇති පීටා ලිම්ජරෝනෙරාත් ද ව්‍යාපාරිකයෙකි.
(රොයිටර්)