තායිලන්ත අගමැතිට ඇස්ට්‍රාසෙනකා



‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව අවධාරණය කරමින්, තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා එම එන්නත ප්‍රසිද්ධියේ ලබා ගත්තේය.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත මාත්‍රා තායිලන්තයට ලැබුණේ පසුගිය සතියේය. එන්නත සම්බන්ධයෙන් බියක් සහ සැකයක් මතුවූයේ එන්නත ලබා දීමට සූදානම් වෙද්දීය.

ඒ අනුව, එන්නත සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අවසන් වනතුරු එන්නත ලබා නොදීමට තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළේය.

තායිලන්ත වැසියන් තුළ එන්නත සම්බන්ධයෙන් ඇති බිය මඟ හැරවීමේත්, සැකයක් ඇති නම් එය නැති කිරීමේත් අරමුණින්, තමන් පළමුවෙන් එන්නත ලබා ගන්නා බව පවසමින්, අග්‍රාමාත්‍යවරයා එය  ලබා ගත්තේය. 

ඇස්ට්‍රා සෙනකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් සිදුවන බවත්, එයින් මරණ සිදුවුණු බවත් වාර්තා වන්නේ යුරෝපා රටවලිනි.

ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එන්නත ලබා ගැනීමෙන් සිදුවුණු මරණ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බැවින්, එම විමර්ශනය අවසන් වනතුරු එන්නත කිසිවකුටවත් ලබා නොදෙන බව යුරෝපා රටවල් පවසා තිබේ.

යුරෝපා රටවල් එන්නත සම්බන්ධයෙන් බියෙන් හා සැකයෙන් පසුවන බැවින්, එන්නත ලබා දීම අත්හිටුවීමට තායිලන්තය ද තීරණය කළේය. ඒ පසුගිය සෙනසුරාදා (13) ය.

කෙසේ නමුත් එන්නත සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වී තිබේ.

ඒ අනුව, තායිලන්තය ඊයේ (16) එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් එන්නත ලබා ගැනීමෙන් පසුවය.

බැංකොක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS