තලේබාන් සාම කතා කඩිනම් කරන්න ඕනෑ

අංශ කීපයකින් පැවැත්වෙන තලේබාන් සාම කතා කඩිනම් කරමින්, ඇෆ්ගනිස්තානයට සාමය උදා කළ යුතු බව ඇමෙරිකා සහ ඇෆ්ගන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වා, සාමය උදා කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා රජය සහ ඇෆ්ගන් රජය අතරේත්, ඇමෙරිකා රජය සහ තලේබාන් සංවිධානය අතරේත් සාකච්ඡා පැවැත්වෙයි.
සාම කතා කඩිනම් කරමින්, ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතු යැයි ඇමෙරිකා සහ ඇෆ්ගන් රජය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර පැවැති දුරකතන ඇමතුමකින් පසුවය.
ඇෆ්ගන් අර්බුදය ආරම්භ වූයේ 2001 වසර අවසානයේදීය. ඒ, 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට පහර දුන් ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩාවට ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සහාය දැක්වීම හේතුවෙනි. ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර, තලේබාන් පාලනය පෙරළා දැම්මේය. තලේබාන්වරුන්, අවි අතට ගෙන සටන් ආරම්භ කළේ ඉන්පසුවය.
මේ වනවිට ඇමෙරිකන් හමුදා පමණක් නොව, නේටෝවට සම්බන්ධ සෙසු විදෙස් හමුදා ද ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගොස් ඇත. ඇමෙරිකන් හමුදා සෙබළුන් අතලොස්සක් ඇෆ්ගනිස්තානයේ රඳවා ඇෆ්ගන් රජයේ හමුදාවට සහාය දැක්වීමටත් පුහුණුව දීමටත් ඇමෙරිකාව කටයුතු කරයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත්තේ, තලේබාන් අර්බුදය කඩිනමින් අවසන් කිරීමටය. කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහා තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතර සාම කතා සාර්ථක වී ඇතැයි ද පැවැසෙයි.
පසුගිය දා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවිය. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේදී, ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍ය වෙයි. කෙසේ නමුත්, ත්රස්තවාදයට එරෙහි සටනේ දී පාකිස්තානයේ ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව ට්‍රම්ප් පරිපාලනය පාකිස්තානයට චෝදනා නගා ඇත.
ඒ අනුව පළුදු වූ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනපතිවරයාටත් පාකිස්තාන අගමැතිවරයාටත් හැකි විය. ට්‍රම්ප් සමඟ පැවත්වූ සාකච්ඡා සාර්ථක බවත්, තමන් ඇමෙරිකන් සංචාරය නිමා කර පැමිණියේ ක්‍රිකට් ලෝක කුසලානය ජය ගැන පැමිණියා සේ බවත් අගමැති ඉම්රාන් ඛාන් ඇමෙරිකා සංචාරය අවසන් කර යළි පාකිස්තානයට පැමිණ මාධ්‍ය හමුවේ කියා සිටියේය.
වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)

