තලේබාන් ත්රස්තයෝ කාබුල් අගනුවරට පහර දෙති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට තලේබාන් ත්රස්ත ප්රහාරයක් එල්ල වීමෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 119 කට වැඩිය.
ප්රහාරය එල්ල වූයේ කාබුල් අගනුවර ‘හරිත ගම්මානය’ යන නමින් හැඳින්වෙන අධි ආරක්ෂිත කලාපය අසල පිහිටි නිවාස සංකීර්ණයක් ඉදිරියේය. විදෙස් තානාපති කාර්යාල, ඇෆ්ගන් රජයේ කාර්යාල, ආරක්ෂක සහ බුද්ධි අංශ මූලස්ථාන පිහිටා ඇත්තේ හරිත ගම්මාන නමින් හැඳින්වෙන මෙම අධි ආරක්ෂක ප්රදේශයේය.
පළමුවෙන් එල්ල වූයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්රහාරයකි. ඉන්පසු ගිනි අවිවලින් සන්නද්ධ ත්රස්තයන් දෙදෙනකු බෝම්බ ප්රහාරයෙන් පසු හටගත් කබලය මැද දකින දකින සැමට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
ප්රහාරයේ වගකීම තලේබාන් ත්රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත. තලේබාන් ප්රකාශක සබිහුල්ලා මුජහිද් පවසා ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු සහ තුවක්කුකරුවන් දෙදෙනෙකු ප්රහාරය සඳහා පැමිණි බවය.
කාබුල් අගනුවරදීය (ඒ.එෆ්.පී.)

