තලේබාන් ත්‍රස්තයන්ට දිගටම පහර දෙන්න



ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන තලේබාන් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කරන්නැයි ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී එරට හමුදාවටත් පොලිසියටත් නියෝග කළේය.

ඇෆ්ගන් ජනාධිපතිවරයා මෙසේ නියෝග කළේ තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම සැලැස්මක් ඇති කරගෙන තිබෙන අවස්ථාවකය. එම සාම සැලැස්ම සාර්ථක කර ගැනීමට, ඇමෙරිකාවේ ඉල්ලීමට අනුව, ඇෆ්ගන් රජය අල්ලා ගත් තලේබාන් ත්‍රස්තවාදී සාමාජිකයන් සිය ගණනක් පවා මීට දින කිපයකට පෙර නිදහස් කළේය.

එපමණක් නොව, ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර නවත්වන්නැයි ද ඇෆ්ගන් ජනපති එරට ආරක්ෂක අංශවලට නියෝග කළේය.

කෙසේ නමුත් පසුගිය 12 වැනිදා සහ 13 වැනිදා ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර මුල්කොට ගනිමින් යළි පහරදීම් ආරම්භ කිරීමට ඇෆ්ගන් ජනපති අෂ්රාෆ් ඝානී ප්‍රමුඛ රජය තීරණය කළේය.
පසුගිය 12 වැනිදා තලේබාන් ත්‍රස්තවාදීන් කඩා වැදී පහර දුන්නේ, කාබුල් අගනුවර පිහිටි මාතෘ රෝහලටය. එම ප්‍රහාරයෙන් ගැබිනි කාන්තාවන්, අලුත උපන් බිලිඳුන් ද ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

රෝහලට එල්ල වුණු ප්‍රහාරය කුරිරු ම්ලේච්ඡ ප්‍රහාරයක් යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටරෙන් ඒරියන් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ඇෆ්ගන් රජය යටතේ ක්‍රියාත්මක වන එම රෝහලේ මාතෘ වාට්ටුව පවත්වාගෙන යනු ලබන්නේ විදෙස් ආධාර මතය. එය ඇඳන් 100 කින් සමන්විත වාට්ටුවකි. රෝහලට කඩා වැදුණේ තලේබාන් හෝ තලේබාන් සංවිධානය සමඟ හවුල් වී සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි ආරක්ෂක අංශ සැක කරයි. ඇෆ්ගන් තලේබාන් සංවිධානය කොටස් කිහිපයකි.

ප්‍රධාන තලේබාන් සංවිධානය සන්නද්ධ මෙන්ම දේශපාලන අංශයකින් ද සමන්විතය. පසුගිය කාලයේ ඇමෙරිකාව සමඟත් ඇෆ්ගන් රජය සමඟත් සාම සාකච්ඡා පැවැත්වීම සිදු කළේ මෙම තලේබාන් සංවිධානයයි. අයි.එස්. ත්‍රස්තවාදීන් එක් වී සිටින තලේබාන් කල්ලි සාමය පිළි ගන්නේ නැති බව පැවැසෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම සිදු කරන්නේ මොවුන්ය.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS