තරුණියක ගැටගසා බිම දිගේ ඇදන් ගිහිල්ලා
සොරකමකට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණියකගේ දෑත් බැඳ, යතුරු පැදියකට ගැට ගසා, ඇය බිම දිගේ ඇදගෙන ගිය කෙන්යානු පොලිස් නිලධාරීන් තිදෙනකු සේවයෙන් නෙරපා දැමූ බවත් ඔවුන් අත්අඩංගුවට ගත් බවත් කෙන්යානු පොලිස්පතිවරයා පවසයි.
පොලිස් නිලධාරීන් තිදෙනා තරුණියට පහර දෙමින්, ඇයගේ දෑත් කඹයකින් බැඳ කඹයේ කෙලවර යතුරු පැදියේ ගැට ගසා ඇය බිම දිගේ ඇදගෙන ගිය දසුන් එම ස්ථානයේ සිටි අයකු විසින් සිය ජංගම දුරකතනයෙන් රූගත කර තිබේ. පසුව, මිනිත්තු එකහමාරක් දිග එම වීඩියෝ දසුන් පසුව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරුණි.
මෙම සිදුවීම වාර්තා වන්නේ කෙන්යාවේ බටහිර දෙසින් පිහිටි ඔලෙන්ගුරුඕනේ නමැති නගරයකිනි. පොලිස් නිලධාරීන් තරුණියට මෙසේ අඩන්තේට්ටම් කර ඇත්තේ ඇය වෙනත් පොලිස් නිලධාරියකුගේ නිවසකට පැන සොරකම් කළේ යැයි සැකපිටය.
පොලිස් නිලධාරීන්ගේ කුරිරුකම්වලට ලක්වුණු තරුණිය මර්සි චෙරෝනෝ නමැත්තියයි. මේ වනවිට ඇය රෝහල්ගතව සිටින බවත් ඇගේ සිරුර පුරා තුවල දකින්න ලැබෙන බවත් එක් පාදයක් සහ අතක් බිඳී ගොස් ඇති බවත් වාර්තා වේ.
අඩන්තේට්ටම්වලට ලක්වුණු තරුණිය මුදාගැනීමට සමත් වී ඇත්තේ අසල සිටි පිරිස ය. ඔවුන් වට වී පොලිස් නිලධාරීන්ට දොස් නගමින් මර්සි චෙරෝනෝ කඩිනමින් රෝහල්ගත කළ බව ද පැවැසෙයි.
දිළිඳු තරුණියක වුවත් මර්සි චෙරෝනෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් කිසි දිනෙක සොරකම් කර නොමැති බවය. පොලිස් නිලධාරියාගේ නිවසට පැන සොරකම කළ සිදුවීමට තරුණියන් තිදෙනකු සම්බන්ධය. මර්සි පවසන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත්, තමන් සොරකමට සම්බන්ධ නොවූ බවත්ය. ඇය සොරකමට සම්බන්ධ යැයි ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බව ද පැවැසෙයි.
අද වනවිට කෙන්යාව ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැට කන අප්‍රිකා රටකි. කෙන්යාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 3,215 කි. මරණ වාර්තා වන්නේ 92 ලෙසිනි. ‘කොවිඞ් 19’ හේතුවෙන් සවස් කාලයේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
පසුගිය දින කීපයේ ඇඳිරි නීතිය කඩ කළ කෙන්යා තරුණයන් 15 දෙනකු පොලිසිය කළ පහරදීම්වලින් මියගිය බව ද වාර්තා වේ. එම පහරදීම් සිදු කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැති බව ද පැවැසෙයි. එසේ මියගිය 15 දෙනා අතරේ 13 හැවිරිදි ගැටවරයෙකු ද සිටින බව කෙන්යා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මර්සි චෙරෝනෝට පහර දීමේ මෙම සිද්ධිය වාර්තා වන්නේ, ඇමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිදුවීමත්, ඉන්දියාවේ පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායන නීති කැඩුවේ යැයි මුස්ලිම් තරුණයකුට වට කර ගනිමින් අමානුෂික ලෙස පහර දෙන සිදුවීමත් ලොව කලඹමින් ඇති අවස්ථාවකය.
නයිරෝබිහිදීය (රොයිටර්)

