ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් මට කිසිදු බලපෑමක් නෑ



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, ඊට සහභාගීවන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් නිව්යෝක් නුවරදී පැවැත්විණි.

ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයේ ජනපති ධුරයට පත්වූයේ පසුගිය ජූලි මාසයේදීය. සෙලෙන්ස්කි ඇමෙරිකා ජනපති මුහුණට මුහුණ හමුවූයේත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගී වූයේත් පළමු වරටය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කිසිම අවස්ථාවක තමන්ට බලපෑමක් නොකළ බවත්, ට්‍රම්ප් තමන්ගේ හිතවතකු බවත් මාධ්‍යවේදීන් හමුවේ යුක්රේන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සූදානම් වෙයි. ලබන වසරේ එනම් 2020 දී ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. 2020 ජනාධිපතිවරණයේදී, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන්ය.

ජෝ බයිඩන්ට මඩ ගැසීමේ අරමුණින්, ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙස්කිගේ සහාය ඉල්ලා ඇති අතර, සහාය ලබා ගැනීම වෙනුවෙන් ජනපති ට්‍රම්ප් යුක්රේන ජනපතිවරයාට බලපෑම් කර ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත. ඒ, පසුගිය ජූලි 25 වැනිදා, ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්සිකි අතර පැවැති දුරකතන සන්වාදයක් ගැන තොරතුරු බුද්ධි නිලධාරියකු විසින් අනාවරණය කරනු ලැබීමත් සමඟය.

එහෙයින්, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර පැවැති හමුව ඉතා වැදගත් එකක් විය. ජනපතිවරුන් දෙදෙනා එකිනෙකා හමුවූයේ මාධ්‍යවේදීන් ද පිරිවරා ගනිමිනි. සාකච්ඡා පැවැත්වීමෙන් පසු ට්‍රම්ප් විහිළුවක් ද කළේය. ‘බලන්න, ජනපති සෙලෙන්ස්කි නිසා මට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තිබෙනවා. ඒ වගේමයි, මං නිසා ජනපති සෙලෙන්සිකිට ඊටත් වඩා ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තිබෙනවා.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසීය.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ නියෝජ්‍ය ජනපතිවරයෙකි. බයිඩන්, නියෝජ්‍ය ජනපති ධුරය හෙබවූයේ ට්‍රම්ප්ට පෙර බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරයේ කටයුතු කරද්දීය. එම කාලයේ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්, යුක්රේන ස්වභාවික වායු සමාගමක අධ්‍යක්ෂක මණඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

මෙම සමාගම නීතිවිරෝධී කටයුතු රැසකට සම්බන්ධ බවටත් දූෂණ රැසකට සම්බන්ධ බවටත් චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් යුක්රේන රජය කළ විමර්ශනවලට ජෝ බයිඩන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.

පසුගිය ජූලි 25 වැනිදා ජනපති ට්‍රම්ප්, යුක්රේන ජනපති සෙලෙන්සි හමුවූ අවස්ථාවේදී, ‘උදව්වක් වශයෙන්’ ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ට්‍රම්ප්, යුක්රේන ජනපතිවරයාට පවසා ඇත. ජනපතිවරුන් දෙදෙනාගේ මෙම දුරකතන කතාබහ සහ ඒ සම්බන්ධ සියලු විස්තර මේ වනවිටත් ධවල මන්දිරය ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට ලබා දී ඇත. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ජෝ බයිඩන් ගැන විමර්ශනයක් ඉල්ලන බව එයින් තහවුරු වී තිබේ.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS