ඩිමොක්‍රටික්වරුන්ගෙන් යෝජනාවක්



අයවැය සම්මත කර ගැනීමට නොහැකිව, හටගෙන තිබුණු අර්බුදයට විසඳුමක් ලෙස නව යෝජනාවක් සම්මත කර ගැනීමට, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ සමත් වූහ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලෝසි නව යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු අවධාරණය කළේ අර්බුදයට මුල් වුණු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමා තාප්පයට ප්‍රතිපාදන වෙන් නොකරන බවය.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් නව යෝජනාව සම්මත කරගැනීම සිදු කළේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ විරෝධය මැදය. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමාට හිමි නිෂේධ බලතල අනුව, තමන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ නව යෝජනාවට විරෝධය දැක්වීමට කටයුතු කරන බවය.

ඇමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින්, දෙරට දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි. ට්‍රම්ප් එම තාප්පය ඉදි කරන්න සූදානම් වන්නේ, මෙක්සිකෝවේ සිට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වමිනි. එමගින් ඇමෙරිකාවේ අපරාධ සහ මත්කුඩු ජාවාරම් නැවැත්විය හැකි බව ට්‍රම්ප්ගේ විශ්වාසය වී ඇත.

තාප්පය ඉදි කිරීමට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිපාදන වෙන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඊට ඩිමොක්‍රටික් බහුතරයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් විරෝධය එල්ල විය. ඒ අනුව ඇමෙරිකා රජය අකර්මණ්‍ය විය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් පමණක් නොව, ට්‍රම්ප්ගේ ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් පවා එම තාප්පය මුල්කොට ගනිමින් විරෝධයක් එල්ල විය.

ඩිමොක්‍රටික්වරුන් සම්මත කරගත් නව යෝජනාව අනුව, ස්වදේශ ආරක්ෂක ඒජන්සිය වෙනුවෙන් ලබන පෙබරවාරි 8 වැනිදා දක්වාත්  තවත් ඒජන්සි කීපයක් වෙනුවෙන් ලබන සැප්තැම්බරය දක්වාත් ප්‍රතිපාදන හිමිවනු ඇත. කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් සිය නිෂේධ බලය පාවිච්චි කරමින්, ඊට විරෝධය දැක්වුවහොත් ඇමෙරිකා රජය මුහුණ පා ඇති අර්බුදය දිග්ගැස්සෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS