ඩකා ප්‍රහාරයේ සැකකරුවන්ට මරණ දඬුවම
බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලට 2016 වසරේ එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හත්දෙනාට අද (27) ලබා දුන්නේය.
බංග්ලාදේශයේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු තීන්දු ප්‍රකාශයට පත් කරන්නේ විශේෂ අධිකරණයකිනි. සැකකරුවන් සත් දෙනාට මරණ දඬුවම නියම කළේ ද එම අධිකරණයයි.
2016 ජූලි 1 වැනිදා, ඩකා නුවර ගුල්ෂාන් පළාතේ ආර්ටිසාන් බේකරි අවන්හලට ආයුධ සන්නද්ධ ඉස්ලාමීය ත්රස්තයෝ පස් දෙනෙක් කඩා වැදුණාහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ අවන්හලේ සිටි විදේශිකයන්ය. ත්රස්තයන් එල්ල කළ වෙඩි ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාරවලින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. එයින් 18 දෙනකු විදේශිකයන් වන අතර ඉතිරි දෙදෙනා බංග්ලාදේශ වැසියන්ය.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය බාරගත්තේය. කෙසේ නමුත් ප්‍රහාරය සිදු කළේ බංග්ලාදේශයේ ‘ජමාත් උල් මුජහදීන්’ නමැති අන්තවාදී කල්ලියයි. පසුව අනාවරණය වූයේ මොවුන්ට අයි.එස්. සංවිධානය සමඟ සම්බන්ධයක් නැති බවය. ‘ජමාත් උල් මුජහදීන්’ ඉස්ලාමීය අන්තවාදී සංවිධානය පසුව බංග්ලාදේශයේ තහනම් කෙරුණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ‘ජමාත් උල් මුජහදීන්’ සාමාජිකයන් යැයි පැවැසෙයි. 2016 ජූලි 1 වැනිදා එල්ල වූ එම ප්‍රහාරය ජාත්‍යන්තරයේ දැඩි පිළිකුලට ලක් විය. අද උදෑසන (27) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී, විශේෂ අධිකරණයට පොලිසියේත් හමුදාවේත් ආරක්ෂා හිමිවී තිබුණි.
ඩකාහිදීය (ඒ.එෆ්.පී.)

