ට්‍රම්ප් හැරිස් විවාදය උණුසුම්



ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය උණුසුම් අයුරින් පැවැත්විණි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයට තව ඇත්තේ සති අටක කාලයකි. විවාදය පැවැත් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ, පිලිඩෙල්පියා නුවර සම්මන්ත්‍රණ ශාලාවේය. ජනාධිපතිවරණයට පෙර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වීම,ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායකි. විවාදය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාළිකාවය.

ට්‍රම්ප් සහ කමලා හැරිස්  ජාතික මටට්මින්, දේශපාලන වේදිකාවක මුහුණට මුහුණ හමුවුනු පළමු අවස්ථාව මෙයයි. දෙදෙනා වේදිකාවට ගොඩවූයේ අතට අත දීමෙනි. අතට අත දෙමින් දෙදෙනා විවාදය ආරම්භ කළත් විවාදය අවසන් වීමෙන් පසු අතට අත දීමක් සිදුනොවිණි. එය ද විශේෂ සිදුවීමකි.

මිනිත්තු 90 ක් තිස්සේ පැවැති විවාදය ඉතාමත් උණුසුම් ස්වරූපයක් ගත්තේය. ගබාසාවට ට්‍රම්ප් දක්වන විරෝධය, කාන්තා අයිතීන්, ජීවන වියදම ඉහළ යෑම, ඇමෙරිකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය ආදිය සම්බන්ධයෙන් විවාදය පැවැත්විණි. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ හැරිස්ගේ අවධානය යොමු වෙද්දී, ට්‍රම්ප් පැවැසුවේ, තමන් ජනාධිපති වුවහොත්, එසැණින්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය. ට්‍රම්ප් කවදත් රුසියන් හිතවාදියකු යැයි චෝදනා නගමින්, හැරිස් පැවැසුයේ, පුටින්ට බුරුලක් දුන්නොත්, ට්‍රම්ප් අමාරුවේ වැටෙනු ඇති බවය.

ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. හිටපු ජනාධිපතිවරයකු ද වන ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාය. වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාවය.
කමලා හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජනාධිපති ධුර අපේක්ෂිකාව වූයේ, වත්මන් ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් ජනපතිවරණ සටනින් ඉවත් වුණු බැවිනි. 

බයිඩන්, ජනපතිවරණ සටනින් ඉවත් වූයේ ට්‍රම්ප් සමඟ සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීමෙන් පසුවය. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. 

78 හැවිරිදි ට්‍රම්ප් සමඟ විවාදයේ දී බයිඩන් අසරණ වූයේ වයස ඔහුට හරස් වුණු බැවිනි. ඩිමොක්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් බයිඩන්ට විරෝධයක් එල්ල විය. ඒ අනුව, ඔහු උප ජනාධිතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව බවට පත් කළේය.
59 හැවිරිදි කමලා හැරිස්, ඉන්දීය සම්භවයක් ඇති කළු ජාතික කාන්තාවකි. ඇය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකන් ජනාධිපතිධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS