ට්‍රම්ප් රෝහලේ: තවම බය වෙන්න දෙයක් නෑ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කෙරුණි.
ජනපති ට්‍රම්ප් රැගෙන යනු ලැබුවේ වොෂින්ටන් අගනුවර වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහලටය. මැරින් වන් නිල හෙලිකොප්ටර් යානයෙන් නැගී හමුදා රෝහල වෙත යෑමට පෙර ධවල මන්දිරයේ සිට ට්‍රම්ප් තත්පර 18 ක වීඩියෝ පණිවුඩයක් පටිගත කළේය. එය මේ වනවිට ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

‘මා හොඳින්. අසනීප ගතියක් දැනෙන්නේ නැහැ මට. ඒත් වැඩි ආරක්ෂාවට, මා රෝහල්ගත විය යුතුයි වෛද්‍යවරුන් තීරණය කළා. මා පමණක් නොවෙයි, මගේ බිරිඳත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා’ යැයි එම වීඩියෝ පණිවුඩයේ දැක්වෙයි.

මෙරීන් 1 හෙලිකොප්ටරයෙන් ට්‍රම්ප් රෝහල වෙත යයි
ට්‍රම්ප්ගේ ධවල මන්දිර වෛද්‍යවරයා වන ෂෝන් කෙන්ලේ පවසා ඇත්තේ ට්‍රම්ප් ට ස්වසන ආබාධ නොමැති බවත් ඔක්සිජන් ලබා දීමක් අවශ්‍ය නොවන බවත්, ඔහු නිරෝගීව සිටින බවත්ය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලිනියා ද කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වූයේ ඊයේ (2) ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කළ අවස්ථාවේදීය.
ට්‍රම්ප් මෙලානියා යුවල මෙසේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණේ ට්‍රම්ප්ගේ උපදේශිකාවන්ගෙන් කෙනකු වන හෝප් හික්ස් කොරෝනා ආසාදිතයකු වූ බැවිනි. ට්‍රම්ප් සහ මෙලානියා යුවලට කොරෝනා ආසාදනය වන්න ඇත්තේ හෝප්ගෙන් යැයි සැක කෙරේ.


හමුදා රෝහලේ ට්‍රම්ප් වෙනුවෙන් වෙන් වුණු කාමරය
කොරෝනා වයිරසයට කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. වයිරසය ආසාදනය වී බොහෝ දෙනා මරණයට පත් වන්නේ පෙනහළු ආසාදන තත්ත්වයන් නිසාය. අවුරුදු 65 ට වැඩි විඩිහිටියන්ට කොරෝනා වයිරසය මාරක වන අතර, ඇමෙරිකාවේ මියගිය වැඩිදෙනා අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ය. ජනපති ට්‍රම්ප් 74 හැවිරිදි වියෙහි පසුවෙයි. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැය 24 පුරා ජනාධිපති ට්‍රම්ප් ගැන විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වීමත් සමඟ ට්‍රම්ප් සහ මෙලානියාට රෙම්ඩෙසවියාර් නමැති වයිරස මර්දන ඖෂධය එන්නත් කර ඇත්තේ තවත් එවැනි ඖෂධ කීපයක් එක් කරමිනි. ඒ, කොරෝනා වයිරසයට කිසියම් හෝ බලපෑමක් ඇති කිරීමේ අරමුණින්ය. රෙම්ඩෙසවියාර් යනු ඉබෝලා වයිරසය නැසීමට නිර්මාණය කළ ඇති නවතම ඖෂධයයි. මෙය කොරෝනා වයිරසයට එරෙහිව සටන් කළ හැකි බව ඇතැම් වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වී ඇත. කෙසේ නමුත් රෙම්ඩෙසවියාර් ඖෂධය, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය වෙනුවෙන් නිර්මාණය කළ ඖෂධයක් නොවෙයි.

ට්‍රම්ප්ට ඉක්මන් සුවය පතන රිපබ්ලිකන් පාක්ෂිකයෝ
ට්‍රම්ප් රෝහල්ගත කළත්, 50 හැවිරිදි මෙලානියා ට්‍රම්ප් ධවල මන්දිරයේ නිරෝධානයනේ දිගටම පසුවන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඇය ගැන විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
බීබීසී/ඩේලිමේල් ඇසුරිනි

