ට්‍රම්ප්-පුටින් හමුව ජූලි මාසයේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ හමුවක්, ලබන ජූලි මාසයේදී පැවැත්වෙනු ඇති බවත්, එය ඓතිහාසික හමුවක් වනු ඇති බවත් ධවල මන්දිරය වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ලබන ජූලි මාසයේ බ්‍රසල්ස් නුවර පැවැත්වීමට නියමිත උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නෝටෝ සමුළුවට සහභාගී වීමටත් ඉන්පසු ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය.

ට්‍රම්ප් සහ පුටින් අතර හමුව පැවැත්වෙනු ඇත්තේ මෙම සංචාරය අතරතුරේය. හෙල්සින්කී හෝ වියානා නුවර ඒ සඳහා තෝරා ගනු ඇති බව ද පැවැසෙයි.

ට්‍රම්ප් සහ පුටින් අතර හමුව සම්බන්ධයෙන් රුසියානු රජය සහ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ ඇමෙරිකන් ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ය. ඇමෙරිකන් ආරක්ෂක උපදේශක බෝල්ටන් තව නොබෝ දිනකින් රුසියාවේ මොස්කව් නුවරට යෑමට ද නියමිතය.

(රොයිටර්)


RECOMMEND POSTS