ට්‍රම්ප් පුටින් හමුවට ඇලස්කාව සූදානම්



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් හෙට (15) ඇලස්කාවේ ඇන්කර්ජ් නුවරදී පැවැත්වෙයි.

ඇන්කර්ජ්යනු ඇලස්කාවේ වැඩිම ජනගහනයක් ඇති නගරයයි. ට්‍රම්ප් පුටින් හමුව පැවැත්වෙන්නේ, ඇන්කර්ජ් නගරයේ උතුරු මායිමේ පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුරේය. ට්‍රම්ප් පුටින් හමුව නිමිත්තෙන් කඳවුරට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

ට්‍රම්ප් පුටින් හමුවට පෙර, හමුවට පෙර මඟ සකස් කිරීමක් ලෙස ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ දෙරටේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි.

තමන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් හමුවීමට කැමැති බව රුසියන් ජනාධිපති පුටින් නිවේදනය කළේ හදිසියේය. ඒ අනුව, හමුව පැවැත්වීමට එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුර තෝරා ගැනුණි. එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් යනු ඇලස්කාවේ විශාලතම හමුදා කඳවුරය. මෙය ඇමෙරිකන් හමුදා කඳවුරකි. කඳවුර අක්කර 64,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතී.

හිමෙන් වැසුණු කඳු, අයිස් විල් සහ ග්ලැසියර මෙම කඳවුර වටා පිහිටා ඇති අතර, ශීත ඍතුවේදී, කඳවුර ආශ්‍රිත උෂ්ණත්වය රින සෙල්සියස් අංශක 12 තෙක් අඩු වෙයි. මේ වනවිට මෙම කඳවුර ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි.

එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන්හමුදා කඳවුර ඇමෙරිකාව විසින් පිහිටුවනු ලැබුවේ 1940 වසරේදීය. ඒ, නිරවි යුද සමයේ ඇමෙරිකාවට සෝවියට් සමූහාණ්ඩුවෙන් තර්ජන එල්ල වෙද්දීය.උපායමාර්ගික පිහිටීම හේතුවෙන් මෙම කඳවුර ඇමෙරිකාව හමුදාවට අයත් වැදගත් හමුදා කඳවුරක් ලෙස සැලකෙයි.

ඇලස්කාව යනු ඇමෙරිකාවට අයත් විශාලතම ප්‍රාන්තයයි. ඒ අනුව, රුසියන් ජනාධිපති පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් හමුවන්නේ, ඇමෙරිකන් භූමියකදීය. උතුරු ඇමෙරිකා මහාද්වීපයේ වයඹ දිග කෙළවරේ ඇලෙස්කාව පිහිටයි. ඇලස්කාව හිම වළසුන්ට සහ පිනිමුවන්ට ප්‍රසිද්ධය. ඇලස්කාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් තෙල්, ස්වාභාවික වායු, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය මත රඳා පවතී. ඇන්කර්ජ් කියන්නේ එහි විශාලතම නගරයයි.

වර්තමානයේ ඇලෙස්කාව ඇමෙරිකාවට අයත් වුවත් අතීතයේ එය රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබුණි. 18 වන සියවසේදී රුසියානුවෝ ඇලස්කාව ගවේෂණය කර එහි ජනපද පිහිටුවීම කළහ. ඒ වනවිටත් ඇලෙස්කාවේ ස්වදේශිය ගෝත්‍රික වැසියෝ ජීවත් වූහ. ඔවුන්ගේ පරම්පරා අදටත් ඇලස්කාවේ ජීවත් වෙති.

ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ලොම් වෙළෙඳාමය. කෙසේ නමුත් රුසියානුවන්ට ඇලස්කාව පාලනය කිරීම අසීරු වූ අතර, 1867 දී රුසියානු අධිරාජ්‍යය ඇලස්කාව ඇමෙරිකා එක්සත් ජනපදයට ඩොලර් මිලියන 7.2 කට විකුණා දැම්මේය. ඇලස්කාව ඇමෙරිකාවට අයත් වූයේ ඒ අනුවය.


RECOMMEND POSTS