ට්‍රම්ප් පිලිපීනයේ මැනිලා අගනුවරට

පිලිපීනයේ පැවැත්වෙන ‘ආසියාන්’ සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිලිපීනයේ මැනිලා අගනුවරට පැමිණියේය. ට්‍රම්ප් ‘ආසියාන්’ සමුළුවට සහභාගී වන්නේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙසය.
මෙවර ‘ආසියාන්’ සමුළුවේ ප්‍රධානතම අවධානය යොමු වී ඇත්තේ දකුණු චීන මුහුදේ ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහිය. චීනය සමඟ ආක්‍රමණශීලී නොවන ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද ‘ආසියාන්’ සමුළුවට එක් වුණු නායකයන්ගේ අවධානය යොමු විය.
මීට අමතරව, කලාපීය වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සහ ආසියා-පැසිෆික් කලාපයේ චීනයේ බලපෑම සමතුලිත කිරීම සඳහා වන ආරක්ෂක උපායමාර්ග පිළිබඳව ද මෙම සමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි.
මෙවර ‘ආසියාන්’ සමුළුවට සමගාමීව, ‘ක්වඩ්’ සමුළුව ද පැවැත්විණි. ‘ක්වඩ්’ සමුළුව යනු ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජපාන අග්‍රාමාත්‍යවරිය සනායි තකයිචි සමගත්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සමගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගත් සාකච්ඡා පැවැත්වීය.
ට්‍රම්ප්, පිලිපීන සංචාරයෙන් පසු චීනයට යෑමට නියමිතය. ඒ, චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගීවීමටය. එම සමුළුව අතරතුරේ ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග හමුවක් පැවැත්වීමට ද නියමිතය.

