ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග



උතුරු සහ දකුණු කොරියාව අතර සාමය ස්ථාපිත කිරීමට, තිරයෙන් පසුපස සිට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශාල මෙහෙවරක් ඉටු කරන බවත්, එය ඇගැයීමට ලක් කරමින් ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු බවත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ජෝජනා කරයි.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු නවතා දැමීමට පවා තීරණය කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම්‍යශීලී තීන්දු සහ තීරණ නිසා යැයි ද දකුණු කොරියා ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. දකුණු කොරියා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ සිය ඇමැති මණ්ඩලය අමතමිනි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දශක ගණනාවක් තිස්සේ පවතින එදිරිවාදිකම් අවසන් වීම සාමය ස්ථාපිත වෙනවා දැකීම තම අවංක අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී පවසා ඇත.

ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ ද උතුර කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා කර පවතින අර්බුදවලට විසඳුම් ලබා දෙනවා යැයි ඡන්ද පොරොන්දුවක් ද දෙමිණි. ට්‍රම්ප් හමුවීමට තමන් කැමැති බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පැවැසූ අවස්ථාවේදී, ජනාධිපති ට්‍රම්ප් එකපයින් ඊට කැමැත්ත පළ කළේය.

පසුගිය සිකුරාදා (27) උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතරේ හමුවක් පැවැත්විණි. මෙය ඓතිහාසික හමුවක් විය. කොරියා යුද්ධයෙන් පසු, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය ස්ථාපිත වූයේ මෙම හමුවත් සමඟ පැවැත් වූ කොරියන් සාම සමුළුවෙන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS