ට්‍රම්ප්ගේ තටු කැපෙයි



ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව, එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) බහුතරය දිනා ගැනීමට, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලය මැද, මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි. ඒ, කොංග්‍රසයයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. ජනාධිපති ධුරයට මෙහිදී අභියෝගයක් එල්ල නොවුණත්, ජනාධිපතිවරයාගේ පක්ෂයට කොංග්‍රසයේ බහුතරය අහිමි වීම යනු ජනාධිපතිවරයා ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව පෙන්වීමේ සාධකය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකා දේශපාලනයේ ප්‍රධාන පක්ෂ වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. ට්‍රම්ප් නායකත්වය දෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටය. ඇමෙරිකන් කොංග්‍රසය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විත වෙයි. මෙතෙක් කල් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මෙන්ම සෙනෙට් මණ්ඩලයේ ද බහුතර බලයේ පැවැතියේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

ඇමෙරිකන් කොංග්‍රසයේ නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 කි. බහුතරය සඳහා ආසන 218 ක් අවශ්‍ය වෙයි. නිල ප්‍රතිඵල අනුව, ඩිමොක්‍රටික් පක්ෂය ආසන 219  සීමාව පසු කළේය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් දිනා ගැනීමට හැකි වූයේ ආසන 126 ක් පමණි.

සෙනෙට් සභාව ආසන 100 කින් සමන්විතය. මැතිවරණ ප්‍රතිඵල අනුව, ඩිමොක්‍රටික් පක්ෂය ආසන 53 සීමාව පසු කළ අතර, දහවල් වනවිට රිපබ්ලිකන් පක්ෂය දිනාගෙන තිබුණේ ආසන 41 ක් පමණි. බහුතරය සඳහා අවශ්‍ය ආසන ගණන 50 කි.

ඊට අමතරව, මෙම මධ්‍යවාර මැතිවරණයේ දී ඇමෙරිකාවේ ජනපද 36 ක ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම වෙනුවෙන් ද ඡන්ද පැවැත්විණි.

මෙවර මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට වැඩි වාසි හිමිවූයේ ඔවුන් ටෙක්සාස්, දකුණු කැරොලයිනා සහ කැන්සාස් යන ජනපද ජයග්‍රහණය කිරීමත් සමගය.

ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකක් ජනාධිපති ධුරයේ සිටිය හැකිය. ධුර කාල දෙක සිවු වසර බැගිනි. ට්‍රම්ප් සිය පළමු ධුර කාලය සම්පූර්ණ කළේ 2017 සිට 2021 දක්වාය. 2021 ජනාධිපතිවරණයෙන් ඔහු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය විය.

ඉන්පසු තව ධුර කාලයක් ඉතිරිව තිබුණු  බැවින් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට යළිත් ට්‍රම්ප් ඉදිරිපත් විය. එයින් ඔහු විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.  ට්‍රම්ප් සිය දෙවැනි මෙන්ම අවසන් ධුරය ආරම්භ කළේ 2025 ජනවාරි 20 වැනිදාය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත්, ඩිමොක්‍රටික්වරුන්ට බහුතර හිමිවීමත් සමග, ට්‍රම්ප් පැවැසුවේ, තමන් මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරන බවය. තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූවා නම්, තමන් අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා බව ද ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පසුබෑමට හේතුව දිනෙන් දින ඉහළ යන එරට ජීවන වියදම යැයි පැවැසෙයි.       

ඇමෙරිකාවේ ඉන්ධන මිලද ඉහළ ගොස් ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ ඇමෙරිකානුවන් ට්‍රම්ප්ට චෝදනා කරන්නේ ඔහු ඉරානය සමග යුද්ධයකට යෑම හේතුවෙන් රටේ ඉන්ධන අර්බුදයක් සහ භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවී ඇති බවය.

කොංග්‍රසයේ බහුතරය අහිමි වීමත් සමග ඉදිරියේ දී ට්‍රම්ප්ට සිය අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීම කළ නොහැකි වනු ඇත. ඒ, ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක තීන්දු තීරණ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විරෝධයට හේතු වන බැවිනි.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ට රිසි පරිදි තීන්දු තීරණ ගැනීම කළ නොහැකි බැවින්, ඇමෙරිකා ඉරාන යුද්ධය ද අවසන් වනු ඇති බවය.

මේ අතර, ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කළේ, ඩිමොක්‍රටික්වරුන් තමන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ කටයුතු කළහොත්, එම විරෝධතා පරාජය කිරීමට නිෂේධ බලය ජනාධිපති ලෙස තමන්ට ඇති බවය.

ඩිමොක්‍රටික් පක්ෂය තමන් එකඟ නොවන පනත් කොංග්‍රසයට ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම, ඒවා නිෂේධ කිරීමට පියවර ගන්නා බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත. කොංග්‍රසයේ බලය හිමි කරගත් ඩිමොක්‍රටික් පක්ෂයේ ද තමන්ට හිතවත් නියෝජිතයන් සිටින බව ද ට්‍රම්ප් පවසා ඇත.


RECOMMEND POSTS