ට්‍රම්ප්ගෙන් වෙනිසියුලා ජනපතිට ඇමතුමක්

හටගෙන ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගන්නේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සැරැසෙන බවය.
මේ වනවිටත්, ඇමෙරිකන් යුද නැව්, වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ ස්ථානගත වී සිටින අතර, වෙනිසියුලාවට අයත් කුඩා බෝට්ටු සහ නාවික යාත්‍රාවලට එම නැව් පහර දෙයි. ඊට අමතරව, වෙනිසියුලාවට ඉහළින් ගුවන් කලාපය, තහනම් කලාපයක් ලෙස නම් කිරීමට ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටී.
ට්‍රම්ප් පවසන්නේ, ඇමෙරිකන් යුද නැව් පහර දෙන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදා ගන්නා බෝට්ටු සහ නාවික යාත්‍රාවලට බවය. වෙනිසියුලා ජනාධිපති මදුරෝ ත්රස්තවාදයට උඩගෙඩි දෙන අයකු බවටත්, ඔහු මත්ද්‍රව්‍ය කල්ලි සමඟ සබඳතා පවත්වන බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නගා ඇත.
වෙයනිසියුලා ජනාධිපති මදුරෝ සමඟ පැවැති දුරකතන කතාබහ සම්බන්ධයෙන් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය. “වෙනිසියුලා ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකතන කතාබහ හොඳින් සිදු වුණේ නැහැ. කිසිසේත්ම හොඳින් සිද්ධ වුණේ නැහැ” යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

